Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

උපන් දිනයෙන් කියැවෙන ඔබේ ගතිගුණ

1 year ago 7 Min read
Subha.lk

2021 නොවැම්බර් 14 වැනි දින සිට 2021 නොවැම්බර් 20 වැනි දින දක්වා සතියේ උපත ලබා ඇති අයගේ ජන්ම දිනයෙන් හෙළි වෙන තොරතුරු ජ්‍යෙතිෂයට සහ අංක විද්‍යාවට අනුව විමර්ශනය කිරීමකි.

නොවැම්බර් 14 

ප්‍රබල පෞරුෂයක් හිමිවේ

මෙදින උපත ලැබූ ජන්මීන්ගේ උපන් දිනයේ සංයුතිය අංක එක සහ අංක හතර යෝග වීමෙන් සැකසී තිබේ. මෙහි අංක එක රවි ග්‍රහයාට අයත් වන අතර අංක හතර රාහු ග්‍රහයාට අයත් වේ. අභියෝගවලට මුහුණදීමේ ආත්ම ශක්තිය රාහුගෙන් හිමි වන අතර එයට ප්‍රති විරුද්ධව ක්‍රියා කිරීම රවි ග්‍රහයාගේ නෛසර්ගික ලක්‍ෂණය වේ. ග්‍රහ මණ්ඩලය තුළ රාහු ග්‍රහයා සෑම අවස්ථාවකම රවි ග්‍රහයාට සතුරු ග්‍රහයෙක් වශයෙන් හැඳින්වේ. එසේ වුවද ග්‍රහ මණ්ඩලයේ පියා වශයෙන් සැලකෙන රවි ග්‍රහයා ජන්මියාගේ පෞරුෂය වර්ධනය කිරීම කෙරෙහි බලපවත්වයි. එහෙත් ඔබගේ චෛතසික අංකයත් අංක පහ වන බැවින් මුදල් ගනුදෙනුවලදී ප්‍රවේශමින් කටයුතු කිරීම වඩා වැදගත් වේ. මෙදින උප්පත්තිය ලැබූ ජන්මීන් විශේෂයෙන්ම නීතිමය පදනමක් නොමැති ව්‍යාපාර හෝ දේපළ සංවර්ධනය කිරීමේ කටයුතුවලට සම්බන්ධ නොවීමෙන් ඔබට ආර්ථික වශයෙන් වියහැකි පාඩු සිදු නොවේ.

නොවැම්බර් 15 

සැපවත් ජීවිතයක් හිමිය

පහළොස් වැනි දින උප්පත්තිය ලැබූ ඔබගේ ජීවන තොරතුරු සහ ගති ලක්ෂණ පැහැදිලි කිරීමට රවි ග්‍රහයා සහ බුධ ග්‍රහයා ප්‍රධාන වේ. අංක එක රවිට අයත් වන අතර අංක පහ බුධට අයත් වේ. මෙම ග්‍රහයන් දෙදෙනා එකිනෙකාට මිත්‍ර බැවින් රවි සහ බුධගේ යෝග වීම බුධ ආදිත්‍ය යෝගය වශයෙන් හැඳින්වේ.  මෙදින ජන්ම ලාභය ලැබූවන් සුඛෝපභෝගී ජීවිතයකට අදාළ සම්පත් කෙරෙහි ආසා කරන සැපවත් ජීවිත ගෙවන්නෝ  වෙති. මෙවැන්නෝ සාහිත්‍ය, සෞන්දර්ය, කලා සහ සංගීතය කෙරෙහි උනන්දුවක් දක්වන්නෝ වෙති. නිදහස්කාමී ජීවිත ප්‍රිය කරයි. රවිගෙන් ප්‍රසිද්ධියත් බුධගෙන් දුරගමන් සංචාරක කටයුතුවලට යොමුවීමටත් පෙලඹේ. 

ප්‍රීති උත්සවවලට සහභාගිවීමට අවස්ථාව උදාවේ. නොවැම්බර් පහළොස් වැනි දින උපත ලැබූවන් තරුණ පෙනුමින් යුක්ත සංවේදී අන් අයට ප්‍රියමනාප අය වේ. මොවුන්ගේ චෛතසින අංකය හයවැන්නයි. උත්සාහයෙන් කටයුතු කිරීමට වඩා ක්‍ෂණික මාර්ගවලින් විශාල මුදලක් ඉපයීමට කටයුතු කරන අතර විනෝදකාමී ලෙස කාලය ගත කිරීමට යොමුවේ.

නොවැම්බර් 16 

මානව හිතවාදීහු වෙති

රවි ග්‍රහයාගේ සහ සිකුරු ග්‍රහයාගේ සංයෝගයෙන් නිර්මාණය වූ අංක දාසයෙහි අංක එක රවි ග්‍රහයාටත් අංක හය සිකුරු ග්‍රහයාටත් හිමි වේ. මෙම ග්‍රහයන් දෙදෙනා සතු නෛසර්ගික ගුණය එකිනෙකාට අනුව වෙනස් වේ. රවි ග්‍රහයා ශුභ කර්තරී වූ බ්‍රහස්පති ග්‍රහයාගේ ඇසුර ලබන අතර පාප කර්තරී වූ ග්‍රහයන්ගේ ඇසුර සිකුරුට හිමිවේ. මෙම ග්‍රහයන් දෙදෙනා පරස්පර වූ කඳවුරු දෙකක බැවින් නොවැම්බර් දාසය වැනි දින උපත ලැබූ ජන්මීන් තම කටයුතු පිළිබඳ අවිනිශ්චිත හැඟීමෙන් යුක්ත වේ. උප්පත්ති කේන්දරයෙහි රවි සහ සිකුරුගේ පිහිටීම අයහපත් නම් අනපේක්‍ෂිත ගැටලුවලට මුහුණදීමට සිදුවේ. රවි ග්‍රහයාගෙන් අධ්‍යාත්මය නියෝජනය වීමත් සිකුරුගෙන් සෞන්දර්ය නියෝජනය වීමත් මත වඩා බලවත් වූ ග්‍රහයාට අනුකූලව ජන්මියාගේ ගති ලක්ෂණ විද්‍යමාන වේ. මෙවැන්නෝ මානව හිතවාදී ගුණයෙන් යුක්ත වේ.

නොවැම්බර් 17 

අභියෝග ජයගැනීම් ක්‍රමවේදය හඳුනයි

අංක දාහතට අදාළ වූ ලක්ෂණ වශයෙන් හැඳින්වෙන අරගලවලට යොමුවීම, ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීම, බාධාවකින් තොරව වැඩ කිරීමට නොහැකිවීම මෙදින උප්පත්තිය ලැබූවන් සතු ලක්ෂණ වේ. අංක දාහතෙහි සංයුතියට අංක එක හිමි රවි ග්‍රහයාත් අංක හත හිමි කේතු ග්‍රහයාත් ඇතුළත් වේ. කේතු ග්‍රහයා රවි ග්‍රහයාට සතුරු ග්‍රහයෙකි. මෙවැනි සංයුතියක් තුළ මෙදින උපත ලැබූවන්ගේ අභ්‍යන්තරික වශයෙන් ඇති වන මානසික ගැටුම තුළින් ඔවුහු ජීවත්වන පරිසරයෙහි පවතින යථාර්ථය හඳුනා ගැනීමට උත්සාහ දරති. එම හේතුව නිසාම ඔවුන්ට තම අධ්‍යාත්මය ශක්තිමත් කර ගැනීමට හැකි වේ. ජීවිතයේදී මුහුණදීමට සිදුවන ප්‍රති විරෝධතාවල වර්ධන ස්වභාවය හොඳින් අවබෝධ කරගත හැකි මානසිකත්වයකට මෙවැන්නෝ හිමිකම් කියති. එනිසාම අභියෝග ජය ගතහැකි ක්‍රමවේද බුද්ධිය තුළින්ම හඳුනා ගන්නා මෙවැන්නෝ හැඟීම්වලට වහල් නොවෙති. සැම විටම සාමකාමීව කටයුතු කිරීමට යොමුවීම නිසා ජීවත්වෙන පරිසරය නිදහස් ලෙස පවත්වා ගැනීම මෙදින උපත ලැබූවන්ගේ අභිලාෂයයි.

නොවැම්බර් 18 

අභ්‍යන්තර සිතුම් වටහා ගැනීම වටී

නොවැම්බර් දහඅට වැනි දින ජන්මය ලැබූවන් බොහෝ අවස්ථාවලදී තමාගේ අභ්‍යන්තරය තුළින් පැනනඟින ගැටුම්කාරී සිතිවිලි නිසා නිතර මානසික පීඩාවන්ට ගොදුරුවේ. තම සතුරන් බලවත් වීමෙන් තම ජීවිතයට බාධා කරදර ඇති වේ. ජන්ම දිනය ලෙස සැලකෙන අංක දහඅටෙහි සංයුතියට අදාළ අංක එක හිමි රවි ග්‍රහයාත් අංක අට හිමි සෙනසුරු ග්‍රහයාත් අතර පවතින නෛසර්ගික ගති පැවතුම් මොවුන්ට අයත් වේ. ජීවිතයට එල්ල වෙන අභියෝගවලට අමතරව සතුරන් නිසා ඇතිවෙන පිඩාකාරී අවස්ථාවන්ට පවා මුහුණදීමට සිදුවේ. තම පවුලේ සහ ඥාතීන් තුළ පවතින සෘණාත්මක ආකල්පයන් ඔබගේ මනස නිරවුල් ලෙස පවත්වා ගැනීමට බාධාවක් වේ. එම තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් පවුලේ සහ ඥාතීන් සමඟ කටයුතු කිරීමට මෙදින උපත ලැබූවන් සිහියේ තබා ගතයුතු කරුණක් ලෙස පෙන්වාදිය හැකිය.

නොවැම්බර් 19 

සාර්ථක ඉලක්ක හඹා යන්නෝය

රවි ග්‍රහයා සතු අංක එකත් කුජ ග්‍රහයා සතු අංක නවයත් උපන් දිනයෙහි සංයුතියට අයත් වේ. ග්‍රහ මණ්ඩලය තුළ මිත්‍රශීලී ග්‍රහයන් දෙදෙනකු ලෙස රවි හා කුජ සැලකේ. මෙදිනට හිමි චෛතසික අංකයත් රවිට අයත්වීම මත නොවැම්බර් දහනව වැනි දින උපත ලැබූවන් ඉතා සාර්ථක අයුරින් තම ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට පෙලඹේ. ඇසුරු කරන්නන් අතර මොවුන් ජනප්‍රිය වන්නේ ඔවුන් සතු අවංකකම හේතුවෙනි. පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගනී. අභියෝගවලට හොඳින් මුහුණදීමට හැකි ඥානයකින් සහ දැනුමකින් සමන්විත වේ. ඉක්මනින් කේන්ති ගැනීම මොවුන් සතු දුර්වල ලක්ෂණයකි. එහෙත් එය පවුල් ජීවිතයට බාධාවක් නොවේ. සාමාන්‍යයෙන් උසස් ජීවන පැවැත්මකට හිමිකම් කීම, මහජන සම්බන්ධතා සාර්ථකව පවත්වා ගැනීම මෙදින උපත ලැබූවන් සතු ගුණාංග ලෙස දැක්වේ.

නොවැම්බර් 20 

දයාබරිතව කටයුතු කරයි

සඳු ග්‍රහයා නියෝජනය කරන අංක දෙක සහ සැඟවුණ සතුරන් නියෝජනය කරන බින්දුව සමඟ ඇතිවූ සංයෝගයෙන් අංක විස්ස නිර්මාණය වේ. මෙදින උපත ලැබූවන් සතු ලක්ෂණ මෙලෙසින් දැක්වේ. කලබලකාරී ලෙස කටයුතු කරයි. එහෙත් යුතුකම් සහ වගකීම් ඉටුකිරීමේදී අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පසුබට නොවනු ඇත. භේදයකින් තොරව දයාබරිතව සැලකීම මොවුන් සතු යහපත් ගුණාංගයකි.  වෙලාවට වැඩ නොකිරීම මොවුන් සතු දුර්වලකමකි. එනිසා අනවශ්‍ය පීඩාවන්ට මුහුණදීමට සිදුවේ. පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් සහ වගකීම් අතපසු කිරීම මෙදින උපත ලැබූවන්ගේ දුර්වල ලක්ෂණයකි. එසේ වුවද සැහැල්ලු මනසකින් කටයුතු කිරීමට ඇති හැකියාව මත ආධ්‍යාත්මිකව සංවර්ධනය වීමට මොවුන්ට හැකි වේ.

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ (14/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk