Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරු 7 සිටියොත් - කසාදෙ වේන්නේ නැතිද?

1 year ago 7 Min read
Subha.lk

සෙනසුරු හතේ නම් විවාහයට බිය වෙන්න එපා සෙනසුරු හතට හොඳ නැත යන්න බොහෝ විට ඇසෙන වදනකි. ඇතැම් ජ්‍යොතිෂවේදීන්ගේ මෙම අදහස් දැක්වීම් මත සෙනසුරු හතේ ඇති බොහෝ පිරිස් කලකිරීම්වලට ගොදුරු වෙති.

 

සමාජයේ මුල් බැසගෙන ඇති සෙනසුරු හතට හොඳ නැත යන වදන සැබැවින්ම සත්‍යයක්ද? සෙනසුරු පිළිබඳව යමෙක් මවාගනු ලබන චිත්තරූපය ප්‍රසන්න නැත. කොර ගසන පා සහිත දුර්වර්ණ වූ කිලිටි වැරහැලිවලින් ගත සරසාගත් අපිරිසුදු මහල්ලකු ලෙස සෙනසුරු හදුන්වා ඇත. එය සංකේතයකි. විග්‍රහ කර දැකිය යුත්තකි.

 

රාශි වළල්ලේ සෙනසුරුගේ ස්ථානයන් වන්නේ දසවැන්න සහ එකොළොස්වැන්නයි. දසවැන්න තුළින් වෘත්තියද එකොළොස්වැන්නෙන් එහි ලැබීම් සහ වෘත්තීය දියුණුවද නිවේදනය වෙයි. පීඩාවන් දරාගැනීමකින් තොරව වෘත්තීය දියුණුවක් හෝ කිසිදු ලැබීමක් හිමිකරගත නොහැකිය. සෙනසුරු දුක් දෙවැනි ග්‍රහයකු ලෙසද පිළිගැනෙයි. දුක්විඳීම තුළින් මිනිසාට නිසි මඟ අවබෝධ වෙයි. බෝසතුන්ගේ දුෂ්කරක්‍රියා සමය තුළ අධික දුක් විඳීමෙන් කිසිදු ඵලයක් නොමැති බව උන්වහන්සේ අවබෝධ කරගත්හ. තමන් යා යුතු මාර්ගයද නිසි ලෙස අවබෝධ වීම බෝසතුන් තම දුෂ්කරක්‍රියා කාලය මඟින් ලබාගත් ජයග්‍රහණයයි. දුක් වින්දොත් සැපක් ලැබෙයි යනු පැරණි මතයකි. දුක්විඳීම මඟින් ඇතිකර ගන්නා දරාගැනීමේ ශක්තිය පුද්ගලයාගේ ඉදිරි දියුණුවට ඉවහල් වෙයි. සෙනසුරුගේ ස්වභාවය නිසි ලෙස අවබෝධ කරගන්නා පුද්ගලයා සියලු පීඩාවන්ගෙන්ම ලබන පන්නරය සහ දුක් පීඩා විඳ දරාගැනීමට ඇති හැකියාවෙන් ජයග්‍රහණයට පත්වෙයි. ජයග්‍රහණය උදාකර ගනියි.සෙනසුරු හතේ ඇති තරුණයාගේ හෝ තරුණියගේ විවාහය පමා වන්නේ වැඩිහිටියන්ගේ නොගැළපෙන ග්‍රහ අරුත් දැක්වීම් නිසාය. සෙනසුරු හත්වැන්නට දිග්ධලය ලබාදෙයි. හත්වැන්නේ සෙනසුරු පිහිටි තරුණියකට සම වයස් සීමාවේ තරුණයකු හිමිවෙයි.

 

පුරාණ පොත්පත් ලියන කාලයේ උගත් පණ්ඩිත බ්‍රාහ්මණයන් විවාහ වී ඇත්තේ වයස පනහ ඉක්මවූ පසු වයස දොළහ සිට දහසය දක්වා වූ දැරියන් සමඟය. බමුණු මත අනුව වියපත් බමුණකුට දාව උපදින දරුවා සෑම අතින්ම දියුණුවට පත්වන බව අතීත මතයකි. සෙනසුරු හතේ දැරියන් කඩිනමින් යුග දිවියට ඇතුළුවීම වැළැක්වීමට සෙනසුරු හතේ විවාහය අසාර්ථක වීමට හේතු සාධකයක් වන බව පැරැණි පොතපතේ සඳහන් විය. සෙනසුරු හතේ දිග්ධල වීමත් දුක් ගැහැට විඳදරා ගැනීමේ හැකියාවත් තිරසර ගුණයත් විමසුම්ව දැකිය යුතුය.

 

හතේ සෙනසුරු නීච වීම සතුරු රාශි ගතවීම - රවි කුජ වැනි පාප ග්‍රහයන් හා යෝග වීම සහ විසි දෙවන දෙර්කාණාධිපති වීම අයහපත් ප්‍රතිඵල ඇති කළ හැකිය. සුබ ග්‍රහයන් හා යෝග ව සුබයන්ගේ දැකීමට හසුවීම ඉතා යහපත් සාර්ථකත්වයක් ඇතිවීමකි. සෙනසුරු යහපත් වුවද විවාහ දිවියේ යම් තරමක කරදර ඇතිවන බව පැවැසෙයි.

කවර නම් දෙදෙනකුට වුවද විවාහ දිවිය තුළ කරදර බාධක මතුවෙයි. සෙනසුරු හැර හත්වැන්නේ සුබ ග්‍රහයන් කවරකු සිටියද දෙදෙනකුගේ විවාහ දිවිය තුළ ගැටලු ඇති

 නොවන්නේ නොවේ. සුබ ග්‍රහයන් හත්වැන්නට යෝග වූ දෙදෙනකුගේ විවාහ ජීවිතය ඉතා කෙටි කලකින් බිඳී යා හැකිය. එහෙත් සෙනසුරු හතේ ඇති අයකුගේ දුක් විඳ දරාගැනීමේ හැකියාව මත විවාහය නොබිඳෙයි.

සෙනසුරු හතේ ස්ත්‍රී පක්ෂයට තම උකුළ - යටිබඩ ආශ්‍රිත බාධකයන් මතුවෙයි. සෙනසුරු වියළි තෙතමනයෙන් තොර නපුංසක ග්‍රහයකු වීම එවැනි කාන්තාවන් හට ලිංගිකත්වයේ බාධක ගබ්සා වීම් ආදිය ඇතිවිය හැකිය.

සෙනසුරු හත සිටින ජන්ම පත්‍ර සඳහා සෙනසුරු හතේ සිටින ජන්ම පත්‍ර ගැළපෙයි.

 

 

එසේ නොමැති නම් සෙනසුරුට හත පෙනෙන ජන්ම පත්‍රද කේත හත සිටින ජන්ම පත්‍රද මැනවින් ගැළපෙයි.

 

සෙනසුරු සමඟ යෝග වීමට සුදුසුම ග්‍රහයා වන්නේ සිකුරුය. සෙනසුරු - සිකුරු සංයෝගය ජන්ම පත්‍රයක පිහිටි අයෙක් කාම බැඳීම් මඟින් වල්බිහි නොවෙයි. වරදේ නොබැඳෙයි. සෘජු බව - විශ්වාසය, ආත්ම ගෞරවය රැකගැනීම, ක්‍රමවත් මුදල් පරිහරණය සහ සතුටින් ජීවත්වීමද සෙනසුරු සිකුරු සංයෝගයේ ප්‍රතිඵලයන්ය.

 

ග්‍රහ රටාවන් හා නවාංශකය ජන්ම පතකට විවිධ වූ අරුත් දක්වයි. සෙනසුරු විශේෂිත ග්‍රහයෙකි. හත්වැන්න දිග්ධල වන වෙනත් ග්‍රහයකු නැත. හතේ අනෙකුත් ග්‍රහයන් විවාහය කඩා බිඳ දැමීමට පෙන්වන මඟ වැඩිය. එහෙත් සෙනසුරු කිසිදා විවාහය කඩා නොදමයි. සෙනසුරුගේ ස්වභාවය හත්වැන්නට යෝග වීම මත හතේ සෙනසුරු විවාහයට අයහපත් යැයි පැවැසීම නිවැරැදිද?

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk