Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කේන්දරයේ පලාපල මැද සිතින් භාර ගන්න

1 year ago 7 Min read
Subha.lk

ජ්‍යොතිෂය වටිනාකම රැඳී පවතිනුයේ නිවැරදි පලාපල කථනය තුළ පමණක් නොවේ. කේන්දරයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීමද නොකළ යුතු කටයුත්තකි. මේ නිසා කේන්දරයක් විග්‍රහ කර පලාපල ප්‍රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි. මේ ලිපිය මඟින් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යම් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ජ්‍යොතිෂය ධනාත්මක අයුරෙන් භාවිත කිරීමට අපට නොහැකිද යන්නයි.

 

ජ්‍යොතිෂය තුළින් ධනාත්මක පලාපල ප්‍රකාශයක් ලබාදීම කෙනෙකුගේ ජීවිතයට අවැඩක් නොවේ. මා එසේ කියන්නේ කිසියම් පුද්ගලයකුට කේදරයක අපලයක් උපද්‍රවයක්  ඇතත් ජ්‍යොතිෂවේදියා එය ධනාත්මක අයුරින් සිතා බලා ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටය. මෙලොව ජීවත් වන හැම මනුෂ්‍යයකුම දියුණුවට පත්වීමට, සාර්ථකත්වයට පත්වීමට, ජයග්‍රහණය බීමට අකැමැති නැත. අප සෑම දෙනකු තුළ යහපත මෙන්ම අයහපතද සම සමව පිහිටා ඇත. ඒවගේම අපට අපල මෙන්ම සපලද උරුමව ඇත. ඉතින් අපල දුරු කර සපල වඩා කෙනකුගේ දියුණුවට මාවත හෙළි කරදීමට ජ්‍යොතිෂවේදියාට අවශ්‍ය තරම් ඉඩකඩ ඇත. මේ අයුරින් කටයුතු කළහොත් පමණක් අපල උපද්‍රව ඇති පුද්ගලයා ඒ අයහපතින් මුදවා ගෙන සාර්ථක පුද්ගලයකු බවට පත්කළ හැකිය.

 

කේන්දරය සෑදීම තුළ යම් දෙයකට කේන්ද්‍ර කිරීමක් සිදුවේ. එනම් අනාගතයේ සිදු වන ඉලක්කයක් වෙත කේන්ද්‍ර කිරීමක් සිදු වේ. කිසියම් පවුලක කෙනකුගේ දියුණුවක් සොයා බැලීමට කේන්දරයක් පරීක්ෂා කරන විට මා අදහස් කරන හැටියට නම් එම පවුලේ සියලු දෙනාගේම කේන්දර පරීක්‍ෂා කළ යුතුය. ඒවගේම එම පවුලේ හැකි තරම් පිරිසක් හමුවීම හා ඔවුන් හා කතා බහ කර ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීමද වැදගත්ය. මීළඟට පවුලේ බලගතු ග්‍රහ බලයක් ඇත්තාද දුර්වල ග්‍රහ බල ඇත්තාද හඳුනා ගැනීම තළ යුතුය. ඒ අනුව යමින් මේ සියලු දෙනාම කිසියම් අනාගත දියුණුවේ ඉලක්කයක් වෙත යොමු කළ හැකිය. එසේ නොමැතිව අපල ඇති අය සොය සොයා ඔවුන් විවිධ පුද පූජා විධි සඳහා යොමු කිරීම තුළින් නම් යහපතක් වන්නේ නැත.

 

මේ සඳහා මා අසා ඇති හා අත්දැක ඇති ග්‍රහයකුගේ අපලයක් ගැන උදාහරණයක්

ගෙන බලමු. සෙනසුරු අපලයක් ලබා ඇති තැනැත්තා කඩමලු අඳිමින් කය - වෙහෙසා වැඩ කරමින් සමාජයෙන් ඇත්ව කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඉතින් මෙවැනි අයකුට ගෙයක් සාදන්නට පටන් ගතහොත් අකුරටම කළ හැකිය. ඔහු දිවා රෑ වෙහෙස නොබලා ඒ කටයුත්ත උපරිම අයුරින් කිරීමට පෙලඹේ. මේ අයුරින් අපලය සපලයක් කිරීම මා සඳහන් කරන ධනාත්මක පලාපල ප්‍රකාශයට හොඳ උදාහරණයකි.

 

විශේෂයෙන් දරුවන්ගේ කෙන්දර බලන විට එම දරුවන්ට අපල ඇත්නම් ඒවා මවුපියන්ගේ හා දරුවන්ගේ ඔළුවට කෙළින්ම නොදමා දරුවන්ගේ හැසිරීම මොනවාදැයි සාවදානව අසා බලා ඊට ධනාත්මක අයුරින් උපදෙස් ලබාදීම වැදගත් වේ. කිසියම් දරුවකුගේ කෙන්දරයක් බලා ඔහු මේ කාලයේ “දියේ ගිලී අකාලයේ මිය යනවා” නැත්නම් “අනතුරකට පත් වෙනවා" මෙවැනි ප්‍රකාශයක් මවුපියන්ට මෙන්ම දරුවාටද දැන්වුවහොත් එය ඒ අයුරින්ම ඉටුවීමට බොහෝදුරට ඉඩකඩ ඇත. මේ ජ්‍යොතිෂවේදියාගේ දක්‍ෂ කමට සිදුවන්නාක් නොවේ. ඒ අර ඉලක්ක කළ දේ පිළිබඳව මවුපියන් තුළ මෙන්ම දරුවා තුළද එක දිගටම සිතුවිලි ක්‍රියාත්මක වීමේ

ප්‍රතිඵලයකි. බොහෝදුරට හදිසි අනතුරු නිසා අත් පා බිඳුණු අයගෙන් “මොකක්ද වුණේ” යැයි විමසන විට ඔවුන් බොහෝ දෙනකු දෙන පිළිතුර වන්නේ “මට මේ දවස්වල අහවල් ග්‍රහයාගෙන් අපල" ඇති බවයි. මීට හොඳම උදාහණයක් වන්නේ සෙනසුරු ග්‍රහයාගේ මාරුව ගැන විශාල බියක් අපේ රටේ ජනතාව අතරට ගොස් ඒ සඳහා ආරක්‍ෂාව පතා කල් තියාම විවිධ පුද පූජාවන්ට ඔවුන් පෙලඹීමයි. කිසියම් ග්‍රහයකු සිටින ස්ථානය පමණක් බලා යම් යම් දේ පිළිබඳ පලාපල ප්‍රකාශ කිරීම සුදුසු නොවේ. ග්‍රහයා ස්ථානගතව සිටින්නේ කුමන බලයක් යටතේද, කුමන යෝග බලයක් සහිතවද කුමන මහ දශාවක් හා අතුරු දශාවක් ගත කරන්නේද, ගෝචරය ගමන් කරන ආකාරය මේ ආදී තවත් බොහෝ දේ විමසමින් මධ්‍යස්ථ මතයක සිට පලාපල ප්‍රකාශ කළ යුතුවේ. පෙර කීවාක් මෙන් පුද්ගලයා හා කතා බහ කර තීන්දු තීරණ ගැනීමද ඉතා වැදගත්වේ. කේන්දරය තුළ කුමන අයහපතක් තිබුණද මධ්‍යස්ථව සිතාබලා පලාපල ප්‍රකාශ කිරීම දෙලොවටම යහපත් කළ හැකි කටයුත්තකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk