කොපමණ වැඳුම් පිදුම් කළත් දෙවියන්ගේ පිහිට නොලැබෙන්නේ ඇයි ?
අද වන විට සමාජයේ පුද්ගලයන් බහුතරයක් දෙනා ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව විවිධ කාරණයන් මුල් කරගෙන දෙවියන්ගෙන් පිහිට පැතීමට පෙලැඹී ඇත. නමුත් මෙසේ දෙවියන්ගෙන් උදවු උපකාර ප්‍රාර්ථනා කරනා බොහොමයක් දෙනා අතරින් යම් සැලකිය යුතු පිරිසකට දෙවියන්ගෙන් බලාපොරොත්තු වූ ආකාරයෙන් පිහිටාධාර තමන්ට නොලැබෙනා බවට චෝදනාවද යම් යම් පාර්ශව තුළින් පැන නඟී. සැබෑවටම එය අසත්‍යයක් නොවන සත්‍ය සිද්ධියකි.
දෙවියන් ලොව ජීවමානව සැබෑවටම වැඩ සිටී නම්, දෙවියන්ගෙන් මනුෂ්‍යයන්ට පිහිටාධාර, උදවු උපකාර ලැබෙනා බව සත්‍යයක් නම් එය එසේ වන්නේ
කෙසේද? මේ සම්බන්ධයෙන් විමසා බැලීම ඉතාම වැදගත් කාරණාවක් වනවා. සමහර පුද්ගලයන්ට ඔවුන් දෙවියන්ගෙන් කෙතරම් ප්‍රාර්ථනා සිදුකළත්,
ඒවා ඉටු නොවීමට බලපාන හේතු සරල ආකාරයෙන් මෙසේ කරුණු කිහිපයකින් පෙන්වා දිය හැකිය. ඒවා නම්,
කර්ම දෝෂයක් නිසා දෙවියන්ගෙන් පිහිටාධාර නොලැබී යෑම,
ඔබ මම ඇතුළු ලොව ජීවත්වන සෑම ජීවියෙක්ම ගෙවා ආ සංසාර ගමන තුළදී රැස් කරගත් යහපත් , අයහපත් කර්මයන්ගෙන් යුතු අය වෙමු. ඒ අනුව අප සසර තුළ දී කරගන්නා ලද යම් බලවත් අකුසලයක් නිසා අපට උපතින්, දෛවයෙන්ම ගෙවා නිම කිරීමට උරුම වූ කර්ම විපාක හේතු මුල්වූ යම් දෝෂයක්, අඩුපාඩුවක්, අහිමිවීමක් වෙනුවෙන් දෙවියන්ට බාරහාර වී, පුද පූජා පවත්වා ඒවායින් මිදීම සඳහා දෙවියන්ගෙන් උදවු උපකාර පැතුව මුත් දෙවියන්ගෙන් ඊට උදවු උපකාර නොලැබී යාහැකිය. උදාහරණ වශයෙන් උපතින්ම ආබාධ සහිත වූ, විකෘති වූ අයකුට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ප්‍රාර්ථනා කිරීම, දරුපල නොමැතිව වඳභාවයෙන් උපන් ස්ත්‍රියක් දරු පල ලැබීමට ප්‍රාර්ථනා කිරීම, විවාහ දෝෂයන් ඇති ස්ත්‍රී පුරුෂයන්ගේ විවාහ කටයුතුවලට ඉක්මන් උදවු උපකාර ඉල්ලීම. තමන්ට දෛවයේ ලියවී නැති අය සමඟ ප්‍රේම සම්බන්ධයන් ඇති කරගෙන ඒවා කැඩී බිඳී ගිය පසු නැවත එක්වීම සඳහා දෙවියන්ගෙන් පිහිට යැදීම ආකාරයේ කාරණාවන් සඳහා දෙවියන්ගෙන් පිහිටක් ලැබීමට අවස්ථාව ඉතාම අල්පය. ඒ වගේම පෙර සසරේදී දාන මාන පින්කම් සිදුනොකර ධනයට ලොල්ව සිටි ඇත්තන් මේ භවයේදී කෙතරම් ගුණ යහපත්ව සිට ධනවත් වීම ප්‍රාර්ථනා කරමින් දෙවියන් යැදුවද එවැනි අයට පිහිටවීමේ ශක්තියක්ද දෙවියන් තුළ නොමැත. ඒ වගේම එවැනි කර්ම දෝෂ සඳහා පිළියම්ද ලොව පවතී. එනම් මහා කුසල් ශක්තීන් පුරා ගැනීමෙන් අහෝසි කර්මයන්' සිදුකර ගැනීමට දක්ෂ වන අයකුට දෙවියන්ගේ පිහිට පතා උපකාර ලබා ගැනීමට අවස්ථාවක් හිමි වීම.
ඒ වගේම යම් මනුෂ්‍යයෙක් තමන් විසින් සසරේ කරගත් බලවත් අකුසලයක විපාකයක් ගෙවීමට උරුම කරගෙන ඉපදී සිටී නම්, ඒ අයට එම කර්මය ගෙවා දැමීමටම සිදුවේ. ඒවා ලෝක පාලක ධර්මතාවන්ගෙන් සිදුවන දේ නිසාවෙන්, ඊට මැදිහත් වීමට දෙවියන් කිසිදු විටෙක ඉදිරිපත් නොවේ.
02. වාසියට පමණක් දෙවියන්ගෙන් පිහිට පතන්නන්ට දෙවියන්ගේ පිහිට නොලැබී යෑම.දෙවියන්ගෙන් පිහිට පතන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනකුට දෙවියන් සිහිවන්නේ ඔවුනට යම් විපතක් කරදරයක් ඇති වූ විට පමණකි. එවන් ඇත්තන්ට දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීම ඉතා දුෂ්කර කාරණයකි. වැස්සකට හෝ පන්සලකට කෝවිලකට ඇතුළු නොවන මෙවැනි බොහෝ පුද්ගලයන් තමන්ට හොඳ කලක් ඇති විටදී හොඳින් කා බී ප්‍රීති වෙමින් සතුටින් කාලය ගත කරයි. එම කාලයන් තුළදී ඔවුන්ට දෙවියන් බුදුන් කෙරේ විශ්වාසයක්, සිහියක් හෝ වුවමනාවක් නොපවතියි. ඒ වගේම ඔවුනට පිනක දහමක යෙදීමට හෝ දේව පූජාවක වන්දනාවක යෙදී දෙවියන්ගෙන් ආශීර්වාද ලබා ගැනීමටද අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකුටම පාහේ අටලෝ දහම නමැති ලෝක ධර්මතාවට මුහුණදීමට සිදුවීම අනිවාර්යය වේ. ඒ අනුව යම් කාලයකදී නොයෙක් ලාභ සැප සම්පත් සතුට විඳින ඇත්තන්ට එම සැප කාලයන් අවසන් වීමත් සමඟ ඊළඟ මොහොතේදී විවිධ අලාභයන් හා දුක් පීඩාවන් සහිත දුෂ්කර කාලයන්ට මුහුණදීමට සිදුවේ. අන්න එවැනි කාලයන් ගතවන විටදී ඉහත කී ආකාරයේ පුද්ගලයන්ට දෙවියන් බුදුන් සිහි වීමට පටන් ගනී. මෙවැනි අවස්ථාවකදී එම පුද්ගලයන් දෙවියන් ඉදිරියේ හඬා වැටෙමින් කෙතරම් පුද පූජාවන් සිදුකර පිහිට අයැද සිටියත්, එවැනි පුද්ගලයන්ට කිසිම අවස්ථාවකදී දෙවියන්ගෙන් පිහිටක් කරුණාවක් හිමිවීම සිදුනොවේ.
නමුත් තමන්ට ඇති හැටි කලදී තමන් ද කා බී විනෝද වෙමින්, තම මවුපියන් නෑ හිත මිතුරන්ටද සලකමින් උදවු උපකාර කරමින් දෙවියන් බුදුන් පවා අමතක නොකරමින් විවිධ පින් දහම් කටයුතුවල යෙදෙමින් දෙවියන් වෙනුවෙන් වන්දනාවන් පුද පූජාවන් පවත්වමින් දිවි ගෙවනා ඇත්තන්ට නරක කාලයක්, විපතක් ඇති වූ විටකදී දෙවියන් සිහි කළ පමණින්ම දෙවියන්ගේ පිහිට නිසි කල නිසි වේලාවට ඔවුන්ට නොඅඩුව ලැබෙනු ඇත.
පාප ක්‍රියාවන්ගෙන් නියුතූ ඇත්තන්ට දෙවියන්ගෙන් පිහිට නොලැබීම.
සමහරක් පුද්ගලයන් විසින් දෙවියන්ට කොපමණ වියදම් කොට වැඳුම් පිදුම් පුද පූජාවන් සිදු කළත්, ඔවුන් විසින් යම් කිසි නීති විරෝධී, අයහපත්, අකුසල, අකටයුත්තක හෝ ව්‍යාපාරයක යෙදේ නම් ඔවුන්ටද දෙවියන්ගෙන් පිහිටක් අනුග්‍රහයක් හිමි නොවේ. එවන් නීති විරෝධී ව්‍යාපාර හා සමාජ අසම්මත හානිදායක කටයුතු කරන ඇත්තන් සිතා සිටිනුයේ මහා පරිමාණයෙන් මුදල් වියදම් කර දෙවියන්ට පගාවන් දෙන්නාක්මෙන් පුද පූජාවන් සිදු කළ පමණින් දෙවියන් ඔවුන්ගේ වැරදිවලට සමාව දී ඔවුන්ව ආරක්ෂා කර දෙනු ඇති බවයි. මේවා ඔවුන් විසින් තමන්ගේ සිත් සනසා ගැනීම පිණිස ඔවුන් විසින්ම සාදාගත් හිතළුම පමණයි. ඒ වගේම යම් බැතිමතෙක් දුක් මහන්සියෙන් හරි හම්බ කළ දෙයින් දෙවියන්ට එක් පහනක් දල්වා පූජා කිරීමත් දේවතාවුන් වහන්සේලා විසින් මහා පූජාවක් සිදු කළ ආකාරයෙන්ම පිළිගන්නවා ඇත. ඔවුන්ට දෙවියන්ගේ පිහිටද නොඅඩුව පවතී. තවත් සමහර පුද්ගලයෙන් තමන්ගේ හිතමිතුරන්ගේ දියුණුව දැක ඒ කෙරෙහි ඉරිසියාවෙන් යුතුව දෙවියන් වැඳ නොයෙක් පුද පූජාවන් සිදුකොට ඔවුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරන්නේ නම්, ඔවුන්ගේ කඩාවැටීම බලාපොරොත්තු වන්නේ නම් එවැනි අයටද දෙවියන්ගේ පිහිට නොලැබේ. වර්තමාන සමාජයේ බොහෝ නීති විරෝධී මත්කුඩු, මත්පැන් ආදී ව්‍යාපාර සිදුකරන ව්‍යාපාරිකයන් විසින් කතරගම, මුන්නේශ්වරම් ආදී මහා දේවාලයන් වෙත ගොස් දෙවියන් වෙනුවෙන් ඉතා විශාල ප්‍රමාණයෙන් මුදල් වියදම් කරමින් මහා පරිමාණයෙන් පුද පූජාවන් සිදුකරන අයුරු අප සමාජයේ බොහෝ අවස්ථාවලදී දැක ඇත. පූජා වට්ටියේ ඇති පඬුරු මුදල් කෙරෙහි ලෝභයෙන් යුතුව සමහරක් පූජකයන් විසින් එම ව්‍යාපාරිකයන්ට දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කර සෙත් ශාන්තින් සිදුකර දෙනු ලැබේ. නමුත් සත්‍ය කාරණය නම් දහස් ගණන් අයගේ ජීවිත විනාශ කරමින් නොයෙක් මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරමින් සමාජය කෙලෙසන මෙවැනි පුද්ගලයන් විසින් දෙනු ලබන කිසිම පූජාවක් දෙවියන් විසින් පිළිනොගන්නා බවත්, ඒ වගේම එවැනි ඇත්තන්ට සිදුකරනා කිසිදු ආශීර්වාදයක් පල නොවන බවත් අප තේරුම් ගත යුතුය.
වරද අවබෝධ කරගෙන එම වරදින් මිදී දෙවියන්ගෙන් සමාව ගෙන දෙවියන්ට වන්දනාමාන කරමින් යහපත් ආකාරයෙන් ජීවත් වෙමින් දෙවියන්ගෙන් පිහිට පතන්නේද ඔහුට ඒකාන්තයෙන්ම දෙවියන්ගේ පිහිට ආශීර්වාදය හිමිවේ.
තවත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් හින්දු දේව විශ්වාසයන් තුළ පවතී. එනම් ගණිකා වෘත්තියේ යෙදෙන ස්ත්‍රීන් හා නපුංසකයන් විසින් යම් සමාජ විරෝධී වැරදි කටයුතුවල යෙදී සිටියත් දෙවියන්ගෙන් ඔවුනට පිහිට, ආරක්ෂාව, ආශීර්වාදය නොඅඩුවකින් හිමිවන බව එයට හේතු කාරණා වශයෙන් දැක්විය හැක්කේ ගණිකාවන් හා නපුංසකයන් වැනි පුද්ගලයන් උපතේ පටන් මරණය දක්වාම සමාජයේ නිරන්තරයෙන්ම අවමානයට අපහාසයට ගැරහීමට හා වධ වේදනාවන්ට ලක්වන බලයෙන් වන බැවින් මවන්නට දෙවියන්ගේ විශේෂ අනුකම්පාවක් හා පිහිටක් උරුමව පවතිනා නිසයි. විශේෂයෙන්ම මහා කාලි මාතාවන්, මහා දුර්ගා මාතාවන් මොවුන් වෙනුවෙන් පිහිටාධාර ලබා දීම පිණිස මූලිකත්වය ගෙන පෙනී සිටි. එවන් අයට නිස්කාරණයේ හිංසා පීඩා, අපහාස කරනා ඇත්තන්ට දේව මාතාවරුන්ගෙන් දරනු දඬුවම් ප්‍රාප්ත වන බව විශ්වාසයේ පවතී. මේ නිසාම ගණිකාවන් විසින් දේව මාතාවන් මුල් කොට ඉමහත් භක්ති ආදරයෙන් පුද පූජා සිදු කරනු ලබයි. මීට අමතරව ගණ දෙවියන්, ශිව දෙවියන්, ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන්ද ගණිකාවන් හා නපුංසකයන්ගේ අනුග්‍රහය පිණිස පෙනී සිටී. ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ හින්දු බැතිමතුන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහා දේව පූජා මංගල්‍යයක් වන ශ්‍රී දුර්ගා පූජාවන් වෙනුවෙන්ම නැවුම්ව තනා නිර්මාණය කරගනු ලබන දුර්ගා දේව මූර්තිය තැනිම සඳහා යොදා ගන්නා මැටි මිශ්‍රණයේ පළමු පස් මිට ගණිකාවකගේ නිවෙසකින්, ඇයට ගරු බුහුමන් දක්වා, රතු සාරි, රතු වළලු, කුංකුම පලතුරු ආදී දක්ෂිණා පරිත්‍යාග කර ගණිකාවගේ සියතින්ම පස් මිට රතු රෙදි කඩකට ලබාගෙන, එම පස් මිශ්‍ර කර දුර්ගා මූර්තිය තනාගනු ලබයි. එසේ චරිත්‍රානුකුලව සාදා නොගන්නා දුර්ගා මූර්තියට දේව මාතාවගේ ආකර්ෂණය ඇතුළු නොවන බවත් පූජාව සම්පූර්ණ නොවන බවත් හින්දු පිළිගැනීමයි.
දෙවියන්, දෙවියන්ගේ දිව්‍ය ශක්තිය ගැන හෝ ගුප්ත විෂය ගැන විශ්වාසයක් නොමැති අයට දේව පිහිට හිමි නොවේ.
අප සමාජය තුළ ජීවත්වන පුද්ගලයන් තුළ දෙවියන් ගැන යම්කිසි පිළිගැනීමක් තිබුණත්, බොහෝ විට එම පුද්ගලයන් තුළ දෙවියන් කෙරෙහි හෝ දේව බලය ගැන සැලකිය යුතු විශ්වාසයක් නොපවතියි. මෙම තත්ත්වය විශේෂයෙන්ම සිංහල දෙවියන් අදහන අය තුළ දක්නට ලැබෙනා අවාසනාවන්ත තත්ත්වයකි. දෙවියන් කෙරෙහි, දෙවියන්ගේ ශක්තිය කෙරෙහි විශ්වාසක් තබා නොගෙන තමන්ගේ යම් යම් ප්‍රශ්න ගැටලු සඳහා දෙවියන්ගෙන් හෝ පිළිතුරක් ලබා ගැනීමට හැකි වේදැයි සිතා උත්සාහයක් කර බලමි යන සිතුවිල්ලෙන් පමණක් දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වන අයටද දෙවියන්ගෙන් පිහිටක් ලබා ගත නොහැක. ඒ වෙනුවට දෙවියන් කෙරෙහි මනා විශ්වාසයකින් හා භක්තියකින් යුතුව තමන්ගේ කාරණාවන් සඳහා දෙවියන් අනිවාර්යයෙන්ම පිහිටවනු ඇතැයි යන සිතුවිල්ලෙන් දෙවියන්ගෙන් පිහිට බලාපොරොත්තු වන අයට නිසැකවම දෙවියෝ පිහිට වෙති. ප්‍රධාන වශයෙන් දෙවියන් කෙරෙහි අප්‍රමාණ විශ්වාසයකින් හා භක්තියකින් යුතුව පුද පූජාවන් සිදුකරන දමිළ හා හින්දු ජාතිකයන්ට දෙවියන්ගෙන් අඩුවකින් තොරව බොහෝ පිහිටාධාර ලැබෙනා බව අපි හැමෝම පාහේ අසා දැක ඇති කාරණයකි.
දෙවියන් අදහන පුද්ගලයන් හා ස්ථානයන්ට ගැරහුම් හා අකටයුතුකම් කරනා ඇත්තන්ට දෙවියන්ගෙන් පිහිට නොලැබේ.
අද වන විට සමාජය තුළ බොහෝ සේ දක්නට ලැබෙනා අවාසනාවන්ත තත්ත්වයක් ලෙස මෙම කාරණය දැක්විය හැකිය. මෙහිදී සාමාන්‍ය දෙවියන් අදහන පුද්ගලයන් අතර පමණක් නොව, දේව කටයුතුවල යෙදී සිටින්නා වූ දේවගැතියන් හා පූජකයන් අතරද මෙම දුර්ගුණයන් දක්නට ලැබේ. මෙය බොහෝ විට සිදුවන්නේ තමන් විසින් යම් යම් පුද්ගලයන් හා දේවස්ථාන කෙරෙහි ඇතිකර ගන්නා පෞද්ගලික අප්‍රසාදයන් හේතු කොටගෙන හෝ නැතිනම් ඒ ඒ ස්ථානයන්ගේ දියුණුවන් දැක ඇති කරගන්නා ඉරිසියාදී සිතුවිලි නිසා බව කිව යුතුය. එම නිසාම එවැනි පුද්ගලයන් විසින් දෙවියන් අදහන අයට නොයෙක් ආකාරයෙන් ගැරහුම් නින්දා අපහාස සිදු කිරීම්වලට පෙලැඹේ. මෙහිදී සිදුවන බරපතළම වරද වන්නේ, මේ පුද්ගලයන් විසින් වක්‍රව හෝ සෘජුව කරනු ලබන ගැරහුම් හා අපහාස සිදු වන්නේ තමන්ද වන්දනා කරන දෙවියන්ගේම තවත් දේවදරුවකුට හෝ බැතිමතකුට බවත්, තමන් අදහන දෙවියන් වෙනුවෙන්ම පුද පූජාවන් සිදු කරනා දෙවියන් වැඩසිටිනා දේව ස්ථානයකට බවත් ඔවුනට අමතක වී යෑමයි. මෙහිදී ඔවුන් හරි හෝ වැරදි වේවා ඔවුන් අනිවාර්යයෙන්ම දෙවියන්ගේ උදහසට හා කෝපයට බඳුන් වේ.
නිසි කලට බාරහාර ඔප්පු නොකළ අයට දේව පිහිට නොලැබේ.
යම් පුද්ගලයෙක් දෙවියන්ට බාර වී තමන්ගේ කාරණය ඉෂ්ට වූ පසු පොරොන්දු වූ ආකාරයෙන් නිසි කලට වෙලාවට දෙවියන් උදෙසා බාරය ඔප්පු කරන්නේ නැති නම්, එවන් අයට නැවත විපතක් කරදරයක් ඇතිව දෙවියන්ට කියා පිහිට පැතුවද ඔවුන්ටද දේව පිහිටක් නොලැබේ. දෙවියන්ට බාර වීමේදී අපි දෙවියන් සමඟ කරන්නේ ගනුදෙනුවකි.
අප සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් සමඟ කරන ගනුදෙනුවක් මෙන් දෙවියන් සමඟ කරනා ගනුදෙනු සමාන කර කටයුතු නොකළ යුතුය. එය සෙල්ලමක්ද නොවේ. දෙවියන් යනු අප දෙන්නට පොරොන්දු වූ පලතුරු වට්ටියට හෝ වෙනත් පූජාවකට ප්‍රේතකමෙන්, දෙනකන් බලන් ඉන්නා කොට්ඨාසයක් නොවේ. ඔවුන්ට අප දෙන පූජා වට්ටියක් යනු සප්ත මහා සාගරේ එක් ජල බිංදුවක් තරම්වත් නොවටිනා දෙයකි. නමුත් අපි දෙවියන්ට පලතුරු වට්ටියක් බාර වී දෙවියන්ගෙන් මොන මොනදේ ප්‍රර්ථනා කර ඇතිද? දෙවියන් අප පොරොන්දු වූ පූජා වට්ටියට ගිජු නොවුණත් ඔවුන් අප විසින් සිදුකරන ලද පොරොන්දු හා දිවුරීම් ඉෂ්ට කරන්නේද යන්න ඉතා අවධානයෙන් බලා සිටී. කාට හෝ දුන් පොරොන්දුවක් ඉටුකිරීම සත්පුරුෂ ගුණයකි. එසේ නොවන තැන ඇත්තේ අසත්පුරුෂභාවයයි. ඒ නිසා අප සෑම දෙනාම පාහේ හොඳින් සිතට ගත යුතුයි අප විසින් කරන ලද බාර හාර අමතක නොකර පොරොන්දු වූ ආකාරයෙන්ම නිසි කලට ඔප්පු සිද්ධ කිරීමට.
විවිධ දුරාචාරයන්ගේ හා ඉතා අපිරිසුදුව ජීවත්වන පුද්ගලයන්ටද දෙවියන්ගේ පිහිට ආකර්ෂණය නොලැබේ.
මෙම කාරණය උක්ත සඳහන් 04 වැනි කාරණයටද යම්කිසි සමානාත්මතාවක් දක්වයි. නමුත් මෙතැනදී පැහැදිලි වන්නේ තුන්දොර සංවරයකින් තොරව, හිතුමතේ අනෙකුන්ට හිංසා පීඩාවන් කරමින්, සල්ලාල සෙල්ලක්කාර දුසිල්වත් ආකාරයෙන් ජීවත්වන, පස් පවේ යෙදෙමින් ශීලාදි ගුණයන්ගෙන් තොරව දුසිරිතයෙන් පිරි ජීවිත ගෙවා දමන ඇත්තන්ටද දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වීමට නොහැකිය. ඒ වගේම ඉතා අපිරිසුදුව සිටිනා පුද්ගලයන්ටද දෙවියන්ගේ ආකර්ෂණය පිහිට හිමි නොවේ. ස්වභාවයෙන්ම දෙවියන්ට මනුෂ්‍යන්ගේ දුගන්ධය ඉවසිය නොහැකි බව බෞද්ධයන් වශයෙන් අප බුදුදහම තුළින්ද අසා දැනගෙන ඇත්තෙමු. ඒ නිසාම තමයි ගුප්ත ශාස්ත්‍රය තුළ සඳහන් වන්නේ සෑම දේව කටයුත්තක යෙදීමට පෙර දත කට මැද හොඳින් නා පිරිසුදුව, අලුත් වස්ත්‍ර ඇඳ සිටින්නට උපදෙස් ලබා දී ඇත්තේ. එසේ කටයුතු නොකරන අයටද දෙවියන්ගෙන් පිහිට ආකර්ෂණය නොලැබේ.
නමුත් අප තවත් අප දැනගත යුතු වැදගත්ම කාරණයක් නම්, යම් පුද්ගලයෙක් දෙවියන් ගැන විශේෂ විශ්වාසයක්ද නොමැතිව, දෙවියන් කෙරෙහි පුද සත්කාර කිසිවක් සිදුනොකර, දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක්ද සිදු නොකොට වුවත්, තමන්ගේ උත්සාහයෙන් තමන් විසින්ම ඇති කර ගන්නා ශක්තිමත් භාවනාමය මනෝභාවයකින් යුතුව, ශීලයෙන් යුතුව යහපත්, කරුණාවන්ත, ආදර්ශවත් ජීවිත ගත කරන, ඉතා පිරිසුදුව සිටින යහපත් කල්‍යාණ පුද්ගලයන්ට උදවු උපකාර ඉල්ලීමකින් තොරවද දෙවියන්ගේ පිහිට ආධාර අවශ්‍ය තැනදී අවශ්‍ය ආකාරයෙන් ලැබෙනු ඇති. එසේ වන්නේ ශීලාදී උතුම් මනුෂ්‍ය ගුණයන්ගෙන් යක්ත මිනිස්සන්ට දෙවියන්ට බොහෝ පියතාවක් දක්වන නිසා. "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” යන පාලි ගාථාවෙන් කියැවෙන්නේද එම ගුණාංගය පිළිබඳවයි.
ඔබට දෙවියන්ගෙන් පිහිට නොලැබීම ගැන දෙවියන්ට දොස් නොපවරා තමන් අතින් සිදු වී ඇති වරදක් වේ නම් එය නිවැරදි කර ගැනීමට ඔබ විසින් උත්සාහ කළ යුතුය. මේ සියලු කරුණු හොඳින් ඔබේ සිතෙහි තැන්පත් කරගෙන, යහපත් හා නිවැරදි ආකාරයෙන් අද සිට කටයුතු කර දෙවියන්ගේ පිහිට ලබා ගන්නට උත්සාහ කරන මෙන් සියලු දෙනාටම කරුණා සිතින් යුතුව සිහිපත් කර සිටිමි. ඔබ සැමට උතුම් ශ්‍රී මහා දුර්ගා අම්මා මෑණියන්ගේ පිහිටයි