අත්ල බලා සාස්තරයක් අහමුද?
සමුද්‍ර සෘෂිවරයා විසින් ලොවට හඳුන්වාදුන් සමුද්‍ර ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වනවිට ලොව පුරා බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක්ව ඇත. අත්ලක් පරීක්ෂාවේදී පුරුෂයකුගේ දකුණු අත්ලත් ස්ත්‍රියකගේ වම් අත්ලත් පරීක්ෂා කළයුතු බව බොහෝ දෙනකුගේ මතයයි. හස්ත සංජීවනී නම් භාරතීය ග්රනන්ථයේද මේ මතයම සඳහන් වෙයි. ඇතැම් ග්‍රන්ථවල දැක්වෙන්නේ පුරුෂයකුගේ වම් අත වැඩි භාවිතාවක් වන්නේනම් වම් අතද, ස්ත්රියකගෙ දකුණු අත වැඩි භාවිතාවක් වන්නේ නම් දකුණු අතද පරීක්ෂා කළ යුතු බවයි. කෙසේ වුවද බොහෝ දෙනකුගේ අදහස වන්නේ ස්තී පුරුෂ භේදයකින් තොරව වම් හා දකුණු අත දෙකම පරික්ෂා කිරීම වැදගත් බවයි.
අතක් පරීක්ෂාවේදී පළමුවෙන්ම අපේ ඇස් යොමුවන්නේ අත්ලටයි. අත්ලේ හැඩරුව, වර්ණය හා විශේෂ සලකුණ අනුව අත්හිමියාගේ පලාපල පැරණි සාමුද්රක විද්‍යා පොත්වල පැහැදිලිව දක්වා ඇත. එම භාරතීය සාමුද්රක ශාස්ත්‍රයෙහි සඳහන් පරිදි වඩාත්ම ජීවිතයට සුබපල දෙන අත්ල හෙවත් පාණිතල දහයක් පිළිබඳව මෙසේ විස්තර කර ඇත.
අත්ල ස්පර්ශ කල විට උණුසුම් ගතියක් දැනීම
සූර්ය උදාවීමට පළමු අහස් තලයෙහි දක්නට ලැබෙන රක්ත වර්ණයට සමාන වර්ණයක් අත්ලෙහි දිස්වෙයි.
අතේ ඇඟිලි එක්කළ විට සිදුරු නොමැතිව එකට එකතු වී තිබීම
අත්ලය තෙල් ගැල්වූ කලක මෙන් මනාව ඔපවත්ව මෘදුව පිහිටීම
මසිත් පිරිණු ගනකම සහිත වූ අත්ලයක් වීම
මධ්‍යම ප්‍රමාණයේ අත්තලය විශාලව පිහිටීම
නියපොතු තඹවන් පැහැය වීම.
ඇඟිලි දික් සහිත වීම
අත්තලය හෙවත් අල්ල දිගට වඩා පළල්ව පිහිටීම.
මේ හැර අත්ල සමතලාව මසින් පිරුණු උඩට නෙරා ඇති අන්ගෙන් තග්යශිලිභාවයක්, ධනවත් භාවයත් මනාව ප්‍රකට කෙරේ. වළ ගැසී ඇති අත්ලෙන් මවුපිය උරුම අහිමිවීමත්, වඩාත් ගැඹුරට වළගැසී ඇති අත්ලෙහි දිළිඳු භාවයක් ප්‍රකට කෙරෙන බව සාමුද්රක ශාස්ත්රයේ සඳහන් කර ඇත. එමෙන්ම දියුණුම මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන අයට හතරැස් හැඩයකින් යුත් අත්ලක් පිහිටයි. ඔවුන් සිතන්නේත් කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝ විට මෙවැනි පිහිටීම් තිබිය හැකිය. පැහැපත් සමකින් හා මෘදු මාංස පේශීන්ගෙන් යුත් අත්ල හිමියා කලාකාමියෙකි. කෝණාකාර හැඩයක් ගන්නා අත්ලෙන් බුද්ධිමත් අයකු හඳුනාගත හැකිය. බුද්ධි හීන පුද්ගලයාගේ සම ගොරෝසු බවක් පෙන්වයි. රේඛා දෙක තුනක් පමණක් පිහිටීමත්, ශීර්ෂ රේඛාව කෙටිමත්ද එවැනි අත්ලක දැකිය හැක. සියුම් වැඩවලට දක්ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් අත්ල හිමියා වාසනාවන්තය. දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවද අතගසන ඔවුහූ එය නිම කිරීමෙන් ඉමහත් සතුටක් ලබති. දක්ෂ පාලකයන්ටද එවැනි අතුල්තල පිහිටයි. හැමවිටම දහඩිය දමන සුළු අල්ලක් ඇති අයද අප අතර සිටිති. රක්තපාතය, ස්නායු දුර්වලත්වය වැනි අසනීප එවැනි අයට තිබිය හැකිය.
ළා රෝස පාට අත්ල වඩාත් සුබ පල දෙන පිහිටීමකි. අළුපාට හෝ දුඹුරු පැහැවීම අසුබයි. දුක්බර දිවියක් එමඟින් පෙන්නුම් කරයි. මෘදු ගතියෙන් යුත් රතු පැහැති පැහැදිලි අත්ලක් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. බොළඳ සිතිවිලි හා ආචාරශීලී හැසිරීම් විලාශයක් ඇති ඇය සැබැවින්ම කාරුණිකය. දේහ ලක්ෂණ විද්‍යා පොත්වල සඳහන් පරිදි රතු පැහැති හෝ තඹ පැහැති ගතිය ස්ත්රීන්ගේ අත්වල තිබීමද ඉතාමත් සුබයි.. ජීවිතයේ උපරිම වින්දනය, තෘප්තිය ලබා ගැනීමේ වාසනාව හිමි එවැනි ඇය යහපත් චරිත ඇත්තියෝද වෙති. අත්ල තද කහ පැහැයෙන් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තාවුද එමෙන්ම කාමුක අශෝභන සිතුව්ලිවලින් යුක්ත වූ අයෙක්ද වේ. අත්ල සුදු පැහැයෙන් යුක්ත වීද අශුභය. සමාජයෙන් ඈත්ව සිටීමට මොවුහු හැමවිටම උත්සාහ කරති. අත්ල කළු පැහැයන් යුක්ත අයෙක් නම් හේ ආත්මාර්ථකාමී අයෙක් විය හැකිය. අත්ල රක්ත වර්ණයෙන් යුක්ත වී නම් වස්තු සම්පත් නොඅඩුව ලබන්නෙක් වන අතර අත්ල නිල්වන් පැහැයෙන් යුක්ත වූයේ නම් හේ මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුවද විනාශ කරන්නකුවේ.
දූපතක සලකුණක් අත්ලේ රේඛාවක් මත හෝ ග්‍රහ මණ්ඩලයක් මත සළකුණු වී ඇත්නම් අශුභය. ජීවන රේඛාව මත මෙම දූපත් සලකුණ පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතැනක හෝ ඇතිවන ආබාධයක් එමඟින් පෙන්නුම් කරයි. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ දූපතක සලකුණ වේ නම් ශීර්ෂ බාධාද, හෘද රේඛාවේ නම් හෘදය ආශ්රිත රෝගද ප්‍රකට කෙරේ. හෘදය රේඛාවේ රවි මණ්ඩලය යටදී දූපත් ලකුණ වැටී ඇත්නම් ඇස්වල රෝග ඇති විය හැකි අතර වම් අතේ එම සලකුණෙන් දකුණු ඇසේද දකුණ අතේ එම දූපත් ලකුණින් වම් ඇසේද රෝග ඇතිවිය හැකිය. දෛව රේඛාවේ දූපත් ලකුණක් වී නම් ආදායම් තත්ත්වයේ පහත වැටීම් පෙන්නුම් කරන අතර එය රවි රේඛාවේ හෙවත් කීර්ති රේඛාවේ නම් තම ආත්මගරුත්වයට කැළලක් වන බවද පෙන්නුම් කෙරේ. කවයකට සමාන සලකුණක් අත්ලේ කුමන තැනක පිහිටියත් එයද අවාසනාවන්තය.