යක්ෂ බියෙන් ගම් වැසියන් මුදා ගත් ළමා බණ්ඩාර දෙවගන
කොත්මලේ ප්‍රදේශයේ විජයබාහු කන්දේ බෙරමාන ගම් පියසට අධිපතිව වැඩවාසය කරන ළමා බණ්ඩාර දෙවියන් තවත් එක් මහා බලසම්පන්න ප්‍රාදේශීය දෙවගනකි.මැය ප්‍රදේශවාසීන්ගේ වන්දනා මානයට හා ගෞරවාදරයට පාත්‍ර වූ බලසම්පන්න දෙවඟනක් බව පැවැසේ. ළමා බණ්ඩාර දෙවඟනගේ උපන් කතාව මෙසේ හැඳින්වේ. එනම් ඇය උපත ලබන්නේ ඌව පළාතේය. ඌවේ එතනා කෙනකුට ගැහැනු දරුවන් දෙදෙනෙකු ඉපදුණේය. මෙම දරුවන් දෙදෙනාට මැණික් එතනා සහ ළමා එතනා යනුවෙන් නම් තබන ලදී. දඟකාර වයසේ පසු වූ මෙම ගැහැනු දරුවන් දෙදෙනාගෙන් මැණික් එතනා ළමා එතනාගේ අක්කා වූ අතර මවුපියෝ තම කුඹුරේ වී කෑමට එන කුරුල්ලන් එළවා දැමීමට දිනපතාම මෙම ගැහැනු දරුවන් දෙදෙනාව යොමු කළ බව කියවේ. එහෙත් කිසිම උනන්දුවකින් මවුපියන් විසින් පැවැරූ එම රාජකාරිය ඉටු නොකළ නිසා හිතේ හැටියට කුරුල්ලන් රංචු පිටින්ම පැමිණ වී ටික කෑවේය. අවසානයේ කුඹුරේ තිබුණු වී කරල් සියල්ල අහිමි විය. මින් කෝපයට පත් තම පියාගෙන් දැඩි දඬුවම් ලබන්න වේ යැයි සිතා බියට පත් වූ දරු දෙදෙනා රහසේ පැනගොස් වනගත විය.
මහා වනයේදී හමුවූ යක්ෂයන් සමඟ ජීවත් වූ මෙම දරුවන් දෙදෙනා පසු කාලීනව නැවැත නිවෙසට ආවත් ඔවුන්ට මවුපියෝ සමඟ නිවෙසේ වාසය කිරීමට නොහැකිව ආපසු වනගත වන්නට විය. ඔවුන් දෙදෙනාට එම යක්ෂයන්ගෙන් ලැබුණු ගුප්ත බලවේගයක් නිසා බව සඳහන් වේ. මෙය දැනගත් ගම් වැසියන් මෙම ගැහැනු දරුවන් දෙදෙනාට දොස් පවරන්නට විය. ඉන් කෝපයට පත් වූ අක්කා නගෝ දෙපළ තමන්ගේ තෙද බලය පෙන්විය යුතු යැයි සිතා ගත්තේය. ඒ අනුව එම ප්‍රදේශය අතහැර අක්කා වූ මැණික් එතනා ඌව වෙල්ලස්ස ප්‍රදේශයටත්, ළමා එතනා වූ නංගි කොත්මලේ, බෙරමානය ප්‍රදේශයටත් පැමිණි බව පැවැසේ. එම කාලයේදී බෙරමානයේ අණසක පතුරුවාගෙන ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කරමින් සිටියේ මලී නම් යක්ෂණියකි. මෙය දැනගත් ළමා එතනාට වැටහුණේ මෙම යක්ෂණීව පරාජය කර ගම්වැසියන් ආරක්ෂා කළ යුතු බවය. වහාම ක්‍රියාත්මක වූ ළමා එතනා ගෙරි ඇටයක් අතට ගෙන තම බලය, ශක්තිය සත්‍ය නම් මා අධිෂ්ඨානය කරන දේ ඉෂ්ට වේවා යැයි කියමින් තම අත ඇති ගෙරි ඇටය හත් විටක් උඩ පනින්න ඕනෑයි කීවේය. එය එලෙසම සිදුවිය. වහාම ඇය මලී නම් තදබල යක්ෂණිය සමඟ සටන් වැද කෙථෙරියකින් ගසා මරා දමා කඩුවකින් ගෙල සිඳ දමා ගම්වැසියන්ව එම යක්ෂ උවදුරෙන් බේරා ගත්තේය. ඉන්පසු ළමා එතනා කොත්මලේ දිඹුලමා වත්තේ නම් ගම් පියසේ ජීවත් විය. ගම් වැසියන් සමඟ සුභදව ජීවත් වූ ළමා එතනාට ගමේ උදවිය බොහෝ සේ උදවු උපකාර හා ආදරය, ගෞරවය දැක්වූහ. මලී නම් යක්ෂණියව මරා දමා තම ජීවිත බේරාගත් නිසා ජීවමාන දේවතාවියක ලෙස ගම්වැසියන් ඇයට ගෞරව කළේය. මෙම ප්‍රදේශයේ සිටි කාන්තාවකට උපදින දරුවන් කුඩා අවධියේම මිය යන්නට විය. මොනදේ කළත් පලක් වූයේ නැත. එය එලෙසම සිදුවෙමින් පැවැතිණි. මේ නිසාම දිනක් මෙම කාන්තාව ළමා එතනාට මේ බව පවසා දේව කන්නලව් කර බාරයක් ඇය වෙනුවෙන් වෙන් කළේය. ඉන් පසු දරුවන් නැති වෙන අපලය දුරු වී ගොස් පසුව උපදින දරුවන්ගේ ජීවිත හොඳින් රැකුණේය.
පසු කලෙක මරණින් මතු ළමා එතනා ළමා බණ්ඩාර නමින් දේවත්වයට පත්විය. ගම්වැසියන් ඇය සිහිවීමට පිණිස ළමා බණ්ඩාර දේවතාව්ය නමින් දේවාලයක් ඉදිකර පුද පූජා පවත්වන ලදී. ඉන්පසු ළමා බණ්ඩාර දේවතාව්ය ලෙස එම දේවාලයේ ඇය විරාජමානව වැඩවාසය කළ බව ජනප්රවාදයේ සඳහන් වේ. මෙම ළමා බණ්ඩාර දේවතාවිය වෙනුවෙන් ඉදිකළ රාවණාගොඩ ගම්මැද්දේ දේවාලය පුරාණයේ පටන් මේ දක්වාම පවතින අතර එහි විවිධ පුද පූජා පවත්වනු ලබයි. මෙහි තේවා කටයුතු පරම්පරා හතකට බෙදා දී ඇත. එනම් දේව ගෙදර පරම්පරාව, උඩ ගෙදර පරම්පරාව, වෙල ගෙදර පරම්පරාව, වටලියද්ද පරම්පරාව, ඉළුක් ගෙදර පරම්පරාව, කෝවිල ගෙදර පරම්පරාව සහ තඹගොඩ ගෙදර පරම්පරාවයි. කොත්මලේ, දිඹුල, බෙරමාන, මෑතගම, රාවණාගොඩ, මල්දෙණිය ආදී ප්‍රදේශවල ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු වලදී මෙන්ම විශේෂිත වූ සුබ කටයුතුවලදී මුල්තැන ලබා දෙන්නේ ළමා බණ්ඩාර දෙවියන්ටය. රාවණාගොඩ මැදගම් මැද්ද නම් සුන්දර ගම්මානයේ විශාල වෙල් යායකට ආසන්නව සුන්දර පරිසරයක මෙම ළමා බණ්ඩාර දෙවඟනට හිමි ප්‍රධාන දේවාලය පිහිටා ඇත. දේවාලය අසල විශාල සපු ගසක වේළුණූ දැවැන්ත ඉපැරැණි පුස් වැලක් ඇති බවද ඒ ආසන්නයේ කළු ගලින් නිම කරන ලද දිය ඇල්ලක්ද වේ.එම දිය ඇල්ල ළමා බණ්ඩාර දෙවඟන ස්නානය කළ දිය ඇල්ල බවට විශ්වාසයක් පවතී. මෙම දිය දහරාව නිසා, දේවාල භූමිය පුරා ගුප්ත බවක් ඇති බව හැඟේ. දේවාලය අසලම ඇති සපුගස ආසන්නයේම විශාල නාගයකු වාසය කරන බව ගම්වාසීහු පවසනු ලබයි. ළමා බණ්ඩාර දෙවියන් උදෙසා වාර්ෂික නානුමුර මංගල්‍යයද උත්සවශ්‍රීයෙන් පවත්වන අතර අතීතයේදී මෙම මංගල්‍යය පවත්වා ඇත්තේ සෙනසුරාදා, බදාදා යන කෙම්මුර දිනයන්වලදීය. ඉපැරැණි චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඒ යුගයේදී සිදු කළ බව පැවැසේ. එදා පටන් වර්තමානයේ මේ දක්වා අදටත් ළමා බණ්ඩාර දෙවියන්ගේ පිහිට රැකවරණය හා ආශීර්වාදය ලැබෙන බව ගම්වැසියන්ගේ දැඩි විශ්වාසයයි. මෙම දේවාලයට පැමිණෙන අය පළමුව ඒ අසල ඇති දිය ඇල්ලෙන් මුහුණ කට සෝදා ගැනීම සිරිතක් වේ. දරු සම්පත් ලැබීමට, රෝග පීඩා දුරුවීමට, ගොවිතැන් සරුවීමට, අමනුෂ්‍ය හා යක්ෂ බය දුරුවීමට, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මෙන්ම සැපත, සතුට, සෞභාග්‍යය උදාවී නිරෝගී සම්පන්නව දිවි ගෙවීමට ළමා බණ්ඩාර දෙවඟනගේ පිහිට පතා පුද පූජා පවත්වනු ලබවයි. ඔබත් බැති සිතින් දැඩි විශ්වාසයකින් මෙම ළමා බණ්ඩාර දෙවඟනට පුද පූජා පවත්වා පින් අනුමෝදන් කරවන්න. ඔබේ සියලු පැතුම් ඉටුවේවි!!!!