ශනි-කුජ යෝගය හා විවාහය
විවාහ වන දවස තරම් සතුට, සොම්නස දනවන වෙනත් දිනයක් ලෞකික ජීවිතය ගත කරන ඔබ අපට නැති තරම්ය. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ලැබීම වාසනාවකි. එහෙත් මේ වාසනාව අද සමාජයේ ජීවත්වන සෑම දෙනාටම උදා වේ යැයි සිතීම අපහසුය. සමහර අයෙක් අවිවාහකව සිටින අතර තවත් සමහර අයෙක් විවාහ වී ටික කලකින් වැන්දඹු වේ. අනියම් සබඳතාද ගොඩනඟා ගෙන උසාවි ගාණේ දුවන අයද මේ අතර සිටිති. තවත් බොහෝ දෙනෙක් විවාහ ජීවිතයේ කොතරම් ගැටලු තිබුණත් තම ආත්ම ගෞරවය ආරක්ෂණ කරගෙන අසහනයෙන් කාලය ගෙවන අවස්ථාද දක්නට ලැබේ. අද සමාජය තුළ විවාහය පිළිබඳ ඇස්පනාපිට දක්නට ලැඛෙන යථාර්ථයයි මේ.
වාසනාවන්ත විවාහය අවාසනාවන්ත කරන ග්‍රහ සංයෝගයක් ලෙස ශනි කුජ යෝගය හඳුන්වා දිය හැකිය. සමාජ ව්‍යවහාරයේ මෙය ශනි මංගල විවාහ දෝෂය ලෙස ප්රකටය. ශනී යනු සෙනසුරුය. මංගල යනු කුජය. ඒ අනුව කුජ ශනි දෙදෙනා සංයෝගයෙන් මෙම යෝගය යෙදේ. සංයෝගයෙන් පමණක් නොව දෘෂ්ටියෙන්ද මෙම යෝගය යෙදේ. දෘෂ්ටියෙන් සිදුවන ශනි - මංගල දෝෂය අර්ධ ශනි - මංගල දෝෂය ලෙස සැලකේ. ව්වාහ අපේක්ෂිත සහකරුගේ සහ සහකාරියගේ යන දෙදෙනාගේම කේන්දර සටහන්වල මෙම යෝගය පිහිටා ඇත්නම් දෝෂ භංග වේ.
විසි පොරොන්දමම ගළපා විවාහ වුවද යමකුගේ කේන්දර සටහනක් තුළ මෙබඳු ශනි - මංගල දෝෂයක් හෝ අර්ධ ශනි මංගල දෝෂයක් පවතියි නම් පළමු විවාහය දෙදරා ඒ අනුව යාමේ වැඩි ඉඩක් පවතී. දැනට සාර්ථක විවාහ ජීවිත ගත කරන කිසිවකුත් තම කේන්දරවල මෙබඳු යෝගයක් දුටු පමණින් බියට පත් නොවිය යුතුය. කළ යුත්තේ ඉතාමත් කල්පනාකාර්ව එකිනෙකා තේරුම් ගෙන නිසි කලට නිසි වත්පිළිවෙත් අනුගමනය කරමින් යුගදිවි ගත කිරීමයි. මෙබඳු ශනි මංගල දෝෂයක් හෝ අර්ධ ශනි මංගල දෝෂයක් තම කේන්දර සටහන්වල පිහිටා තිබේ දැයි ඉතාමත් සැලකිලිමත් විය යුත්තේ විවාහය පිළිබඳව අනාගත සුබ සිහින දකින සිහින කුමර කුමරියන්ය.
අද සමාජයේ බොහෝදෙනෙක් පුරුදුව ඇත්තේ වැඩේ වැරදුණු තැන ජ්‍යොතිෂවේදියා මුණගැසී ඒ පිළිබඳ විමසීමටය. තෙවැනි ඇසක් ඇති ජ්‍යොතිෂවේදියා වැඩේ වැරදීමට හේතුසාධක මේ මේ යැයි කොතෙක් පැවැසුවද ඉන් පලක් නොවේ. යමක් සිදුකර ඒ අනුව පසුතැවීමට සිදුවේ නම් එබඳු දෙයක් නොකළ යුතු බව "නතං කම්මං කථං සාධු යංකත්වා අනුතප්පතී” යන බුදු වදනින්ද සනාථ වේ.
එසේ නම් සිතා බැලිය යුත්තේ, විමසිය යුත්තේ පනින්නට පෙරය. එනම් විවාහයක් සිදුකර ගැනීමට පෙරය. තමන්ටත් අනුන්ටත් යහපතක් නොවන දෑ නොකර සිටීම නුවණට හුරුය. අනාගත සුබ සිහින දකින විවාහ අපේක්ෂිත කුමර කුමරියන් තම තමන්ගේ කේන්දර සටහන් අතට ගෙන මා මුලින් සඳහන් කළ ශනි - මංගල දෝෂයක් හෝ අර්ධ ශනි - මංගල විවාහ දෝෂයක් තිබේ දැයි ව්මසා බලන්න.එසේ තිබේ නම් පවුලේ ජ්‍යොතිෂවේදියා මුණගැසී අවශ්‍ය උපදෙස් ලබාගෙන යුග දිවියට පා තැබීම තුළින් බාධක කම්කටොලුවලින් තොර වාසනාවන්ත විවාහ ජීවිතයක් උරුම කර ගත හැකිය.