පුද්ගලයාගේ පෞරුෂය විදහා දක්වන ලග්න භාවය
ඔබ කුමන ලග්නයක් හිමිව උපන්නත්, ඔබගේ කේන්දරයේ එක, දෙක, තුන, හතර, පහ ආදී වශයෙන් එක් එක් කොටුවට අනුව ජීවිත ගමන පිළිබඳව විස්තර ඉදිරිපත් කළ හැකිය. කේන්දරයක එක් කොටුවක් භාවයක් ලෙස හැඳින්වේ.
පළමු වැනි භාවය ලග්න භාවය ලෙසින්ද හැඳින්වේ. විශ්ව කේන්දරයේ පළමුවැනි භාවය අයත් වන්නේ මේෂ රාශියටයි. කේන්දරයක පළමු වැනි භාවයෙන් කේන්දර හිමියාගේ, ශරීරයේ ස්වභාවය, පෞද්ගලික තත්ත්වය තමන් වඩාත් කැමැති දේවල්, වාසනාව, අවාසනාව, දක්ෂතා, ගති ගුණ, පෞරුෂත්වය, ඇස් පෙනීම, කල්ක්‍රියාව
පෙන්නුම් කරන අතර ශරීරයේ හිස, මොළය, නළල යන ප්‍රදේශද නිරූපණය කරයි. මේ අනුව කේන්දරයක පළමු වැනි භාවය තේරුම් ගැනීමෙන් පුද්ගලයා ගැන නිවැරැදි අවබෝධයක් ලබා ගත හැකිය.
කේන්දර හිමියා කුමනාකරයේ පුද්ගලයෙක්දැයි සොයා බැලීමට පළමුවැනි කොටුව අයිති රාශිය (ලග්නය) කුමක්ද? එම රාශියට අයත් පුද්ගලයන්ගේ හැඩරුව ගතිගුණ, මොන වගේද? ලග්න භාවය තුළ සිටින ග්‍රහයන් කවුරුන්ද? ලග්නාධිපති ග්‍රහයා ජන්ම කේන්දරයේ සිටින ස්ථානය අනුව එතැනදී ලග්නාධිපති උච්ච, මූලත්රිකෝණ, ස්වක්ෂේත්ර වැනි බලයකින් සිටිනවාද? එසේත් නැතිනම් ලග්නාධිපති ග්‍රහයා සතුරු, නීච ආදී පහත් තත්ත්වයක සිටිනවාද? ලග්නය දකින ග්‍රහයන් කවුරුන්ද? යන්න පිළිබඳව සොයා බැලිය යුතුයි.
මේෂ ලග්න හිමියන් මධ්‍යම ප්‍රමාණ ශරීරයක් සහිත කඩිසරව කටයුතු කරමින් ඉදිරියට යන උසස් ගති සහිත අය වේ. වෘෂභ ලග්න හිමියන් තරමක් විශාල ශරීරයක්ද පළල් නළලක්ද සහිතව පහසුවෙන් ජීවත් වීමට සිතන, වැවිලි කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන අයවේ. උස්වූ, වැඩුණු ශරීරයක් සහිත, දික්වූ අතපය ඇතිව පැහැදිලි වචන කතා කිරීම මිථුන ලග්න හිමියන්ගේ ස්වරූපයයි. කටක ලග්න හිමියන් මධ්‍යම ප්‍රමාණයේ සිහින් සිරුරක් ඇතිව, උදාර අදහස් ඇතිව ජීවත් වේ. පළල් වූ උරහිස් සහිත තේජවන්ත පෙනුමක් සහිතය, සිංහ ලග්න හිමියන් දියුණු වීමේ තද ආශාවෙන් කටයුතු කරන බව දැක ගත හැකිය. සියුමැලි මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් හිමි කන්‍යා ලග්න හිමියන් බුද්ධිමත්ව, කඩිසරව කටයුතු කරන අයවේ. සිහින් උස් සිරුරක් ඇති තුලා ලග්න හිමියන් අනුකම්පා සහිත සිත් ඇත්තෝ වෙති. හොඳින් වැඩුණු ශරීරයක් හා වකුටු වූ හිසකෙස් ඇති වෘශ්චික ලග්න හිමියන් බාධක මැඬගෙන ඉදිරියට යන අයවේ. ධනු ලග්න හිමියන්ගේ ශරීර ප්‍රමාණය විශාලය. උසස්වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරයි. සිහින් මුහුණක් සහ මහත ශරීරයක් ඇති මකර ලග්න හිමියන්, බලය ලබා ගැනීමේ ආශාවෙන් කටයුතු කරයි. කාරුණික පෙනුමෙන් යුත් මධ්‍යම ප්‍රමාණයේ ශරීර හිමි ගැඹුරු දේ ඉගෙනීමට උනන්දුවක් දක්වයි. මීන ලග්න හිමියන්ට මිටි තරබාරු ශරීරයක් හිමිවන අතර උණු වන හිත් ඇති ඍජු ප්‍රතිපත්ති ඇති අය වේ.
ඡන්ම කේන්දරයේ පළමුවැනි භාවයේ සිටින ග්‍රහයා හෝ ග්‍රහයන් ගැන බැලීමෙන්ද කේන්දර හිමියා ගැන පලාපල කීමට හැකිවේ.
පළමු වැනි භාවයේ රවි සිටීමෙන් පිබිදුණු ගති ඇති උද්යෝගිමත් කෙනෙකු බවට පත්වේ. කැපී පෙනෙන කිසිවකින් පසු නොබසින ගති ඇතිවේ. සඳු ලග්න භාවයේ සිටි විට සෞම්‍ය ගතිගුණ සහ ප්‍රිය උපදවන රූපයක් ඇතිවේ. කුජ ලග්න භාවයේදී කේන්දර හිමියාව නිදහස සඳහා සටන් කිරීමට පොලඹවයි. ලෞකික දියුණුව සඳහා ධනය රැස්කිරීමට පොලඹවයි. බුධ පළමුවැන්නේ සිටින විට ප්‍රියමනාප වචන කතා කරන්නෙක් වේ. විවිධ භාෂා ඉගෙනීමට හැකිවේ. ගුරු ලග්න භාවයේදී ජන්මියාට ධනය, ඥානය, ගෞරවය, කීර්තිය ලබාදේ. පළමු වැනි භාවයේදී සිකුරු ග්‍රහයා කේන්දර හිමියාට පියකරු පෙනුමක් ඇතිව යහතින් කාලය ගත කිරීමට අවස්ථාව සලසා දේ. සෙනසුරු ග්‍රහයා ලග්න භාවයේදී ජන්මියාට කෙට්ටු ශරීරයක් ඇති කරයි. බර වැඩවල යෙදෙන්නට සිදුවේ.
ලග්න භාවයේ අධිපති ග්‍රහයා කේන්දරයේ සුබ ස්ථානයක බලවත්ව සිටින විටද ලග්ධ භාවය සුඛ ස්ථානයක යහපත්ව සිටින ග්‍රහයන් විසින් දකින විටද, ලග්න භාවය සමෘද්ධිමත් වීමක් ලෙස හැඳින්වේ. ලග්න භාවය සමෘද්ධිමත් නම් කේන්දර හිමියාගේ ජීවිතය සමෘද්ධිමත් වී ඇති බව අපට දැක ගැනීමට හැකිවේ.
එමෙන්ම අසුබ ග්‍රහයන් ලග්න භාවයේ තැන්පත් වීමෙන්ද දුෂ්ට ස්ථානයක දුර්වලව සිටින ග්‍රහයන් විසින් ලග්නය දැකීමෙන්ද, කේන්දර හිමියාට ජීවි කාලය තුළදී අමිහිරි, කටුක අත්දැකීම්වලට වැඩි වැඩියෙන් මුහුණ දීමට සිදුවේ. මෙසේ වූ විට එම අසුබ ග්‍රහයන්ගෙන් සිදුවන අපල සඳහා නියමිත පිළිවෙත් ඉටුකිරීමෙන් සහ තමන්ගේ එදිනෙදා කටයුතු නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන් හැම දෙනාටම සාර්ථක ජීවිත ගත කිරීමට හැකිවන බව ජ්‍යෙතිෂයේදී පෙන්වා දී තිබේ.