තමාටම කියලා ගෙයක් හදාගන්න පෙර පින් අවශ්‍යද ?
බෞද්ධ දර්ශනය අනුව පෙර භවයන්හි අප විසින් කරන ලද කුසල අකුසල කර්ම අනුව මෙම ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලබා ජීවත්වීමේ පරිසරය සකස් වේ. යම් ආකාරයකින් පෙර භවයේ බලවත්ම අකුසල කර්මවල යෙදී ඇත්නම් මනුෂ්‍ය ආත්මය පවා අහිමිවී තිරිසන් සත්ත්ව ආත්මයක් ලබා සත්ත්ව ලෝකයේ ජීවත්වන සිවුපා හා දෙපා සත්ත්වයන්ද අපට දක්නට ලැබේ. ඒ අතරතුර තිරිසන් සතෙක් ලෙස උපත ලැබුවත් සුපිරි නිවෙසක ජීවත්වීමේ වාසනාව ලැබෙන සත්ත්වයෝද සිටිති. පෙර පින අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් හිසට සෙවණක් නිවෙසක් නැතිව මහ මඟ, මඟ තොට, බස් නැවතුම් ස්ථානවල, අම්බලන්වල, අනුන්ගේ ඉඩම්වල, මඩු, යාලතු වල මෙවැනි ස්ථානවල තාවකාලික ලෙස ජීවත්වන අයද සිටිති. තම මවුපියන්ගෙන් හිමි වූ වසර 60, 70 පමණ පැරණි නිවෙස්වල ජීවත්වන්න දරුවන් අලුත් නිවෙසක් ඉදිකර ගැනීමට නොහැකිව ළතවෙමින් සුසුම් හෙළන කොටසක්ද මේ අතර සිටිති. එවැනි පැරණි නිවාස කඩ කඩා නිතර වෙනස් කළත් කිසිම පෙනුමක් නැත. දියුණුවක්ද නැත. එසේම තවත් සමහරු කුලියට, බදු ක්‍රමයට දෙන අනුන්ගේ නිවෙස්වල ජීවත් වෙති.
මේ ආකාරයෙන් අද සමාජයේ සමහර අය තමන් සතුව ඉඩමක් නිවෙසක් නැතිව ඉතා දුක්ඛිතව විවිධ ආකාරයෙන් ජීවිකාව ගෙන යන අතර තවත් සමහරු තමන්ගේ ඉඩමක හෝ ඉඩමක් මිලට ගෙන සුපිරි නිවෙසක් සාදාගෙන ජීවත් වෙති. තවත් සමහරු තමන් සතුව ඉඩම් හා මිල මුදල්, ආදායම් මාර්ග සියල්ල තිබියදී ගරා වැටුණ පැරණි නිවෙසේ මසුරුකමින් ජීවත් වෙති.
මෙම විවිධත්වය සිදුවන්නේ පෙර පින්, පව් අනුව බව බෞද්ධ දර්ශනය අනුව අපට සිතන්නට සිදුවේ. කෙසේ නමුත් මෙම තත්ත්වය ජ්‍යොතිෂමය අනුසාරයෙන්ද සිතා බලමු. මනුෂ්‍යයන් වශයෙන් මෙම පෘථිවි තලයේ පය ගසා සිටින අප සියලුදෙනාගේ ජන්ම පත්‍රයේ සිවුවැන්න පෙර පින්පව් විදහා දක්වන භාවයක් වන්නේය. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, මවගේ ජීවිතය, නෑදෑ පිරිස මේ ආදී සියලු විස්තර මේ භාවයට අයත් වන්නේය. සුඛ වූ සෞම්‍ය ග්‍රහයෙක් සිවුවැන්නේ උපතින් යෙදීම අනුව ඕනෑම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පෙර ආත්මයේ දන්දීම, දුගීන්ට, මගීන්ට වාසස්ථාන ලබාදීම, අනාථ නිවාස සාදා දීම ආදි පුණ්යකර්ම කළ දානපතියෝය. එවැනි අයගේ කේන්දරවල උපතින් සිකුරු මාලවි යෝගය ගෙන එමින් සිවු වැන්නේ යෙදේ. මෙවැනි අයට අලුත් නිවෙසක් ඉදිකිරීමට කිසිම බාධාවක් ගැටලුවක් නැත. තුලා ලග්නය හිමි අයෙකුගේ ලග්නයේ සෙනසුරු සිවුවැන්නේ සිකුරු යෙදීම නිසා අලුත් නිවෙසක් ඉදි කිරීමට කිසිම බාධාවක් නැත. කුම්භ ලග්නය හිමි අයකුගේ ගුරු ලග්න ගතව සිකුරු සිවුවැන්නේ යෙදීම උපතින්ම සිදුවී තිබේ නම් විශාල මහල් නිවෙසක් අලුතින් ඉදිකිරීමට වාසනාව ඇත. මේෂ ලග්නය හිමි අයකුගේ සිකුරු දෙවැන්නේ ධනස්ථානයේද සඳු සිවුවැන්නේද උපතින් යෙදී ඇත්නම් අලංකාර කුඩා නිවෙසක් ඉදිකර ගැනීමට වාසනාව ඇත. වෘෂභ ලග්නයේ අයකුගේ උපතින් සිකුරු ලග්නයේද සිවුවැන්නේ ගුරු බුධ සංයෝගයද රවි එකොළොස්වැන්නේද යෙදී සිටී නම් මහල් නිවෙසක් සෑදීමේ වාසනාව හැකියාව ඇත. මිථුන ලග්නය හිමි අයට සිවුවැන්නේ බුධ ලග්නයේ සිකුරු උපතින් පිහිටා ඇත්නම් හැඩකාර ලස්සන කුඩා නිවෙසක් ඉදි කිරීමට වාසනා ශක්තිය ලැබේ. කටක ලග්නය හිමියන්ගේ ලග්නාධිපති සඳු ලග්නයේද සිකුරු සිවුවැන්නේද සෙනසුරුත් සිවුවැන්නේද උපතින්ම යෙදී ඇත්නම් විවාහයෙන් පසු ත්‍යාගයක් වශයෙන් අලුත් නිවෙසක් හිමිවේ. සිංහ ලග්නය හිමියන්ගේ සිවුවැන්න කුජ ග්‍රහයාට හිමිවේ. ඒ අනුව කේන්දරයේ උපතින් 6, 8, 12 මෙම දුෂ්ට ස්ථානයක් කුජ යෙදී ඇතිනම් අලුත් නිවෙසක් සෑදීමේදී නොයෙකුත් බාධා, හිරිහැර ආදියට මුහුණ දීමට සිදුවේ. නමුත් රවි උපතින් 11 වැන්නේ යෙදී කුජ 3 වැන්නේද ලග්නයේ ගුරුද යෙදී සිටී නම් බාධා මැඬගෙන නිවෙසක් ඉදි කළ හැකිවේ. කන්‍යා ලග්නය හිමියන්ගේ සිවුවැන්න හිමි ගුරු සිවුවැන්නේම හෝ ලග්නයේ යෙදී සිකුරු නව වැන්නේ උපතින් යෙදී තිබේ නම් පෙර පින අනුව විශාල නිවෙසක් සෑදීමට වාසනාව මතුවේ. වෘශ්චික ලග්නය හිමියන්ගේ සිවුවැන්නේ කුම්භ රාශියේ සෙනසුරුද ලග්නයේ ගුරුද උපතින් පිහිටියේ නම් පැරණි විශාල නිවෙසක හිමිකම ලබන අතර එය අලුත්වැඩියා කරමින් වාසය කිරීමට සිදුවේ. වෘශ්චික ලග්නය හිමියන්ගේ සිවුවැන්න අධිපති සෙනසුරු බැවින් උපතින් 6, 8, 12 භාවයක යෙදුණොත් නිවෙසක් ඉදිකිරීමේදී නොයෙකුත් බාධා අවහිර, කම්කටොලු ඇතිවෙන අවස්ථා ඇත.
ධනු ලග්නය හිමියාගේ සිවුවැන්නේ උපතින් සිකුරු යෙදී සිටීනම් නව හැඩයට අලුත් නිවෙසක් ඉදිකිරීමේ වාසනාව මතුවේ. ලග්නාධිපති ගුරු උපතින් සිවුවැන්නේ යෙදී සිටී නම් පරණ නිවෙසම අලුත්වැඩියා කර සකස් කරනු ඇත. මකර ලග්නය හිමියන්ගේ සිවුවැන්න අධිපති කුජ නිවෙසක් සෑදීමේදී නොයෙකුත් ගැටලු ඇති කෙරේ. පැරණි නිවසම අලුත්වැඩියා කිරීම හෝ ඉදිකළ නිවෙසක් මිලදී ගැනීම මේ අය බොහෝ අවස්ථාවල කරනු ඇත, නිවෙසක් ඉදිකිරීම ආරම්භ කළොත් එහි වැඩ අවසානයක් නැත. කඩ කඩා වෙනස් කරනු ඇත. මීන ලග්නය හිමියාද බොහෝ අවස්ථාවල පැරණි නිවෙසම අලුත්වැඩියා කිරීම හෝ එම නිවස විකුණා වෙනත් නිවෙසක් මිලදී ගැනීම සිදුකරනු ඇත. ලග්නයේ සිකුරු සිවුවැන්නේ බුධ යෙදී ඇතිනම් අනිවාර්යයෙන් මීන ලග්නය හිමියාට ලස්සන කුඩා නිවෙසක් ඉදිකිරීමේ වාසනාව උදාවෙනවා ඇත.
මා මෙතෙක් දැක්වූ කරුණු අනුව යම් අයෙකුට අලුත් නිවෙසක් ඉදිකිරීමේ වාසනා ශක්තිය උදාවන්නේ උපන් මොහොතේ තම කේන්දරයේ සිවු වැන්නේ යෙදෙන සෞම්‍ය ග්‍රහ බලය සමඟ එහි අධිපතියාද සෞම්‍ය ග්‍රහයෙක් වීම හෝ සෞම්‍ය බලවත් ග්‍රහයකු දෘෂ්ටියට ලක්වීමෙන් බව වටහා ගත යුතුය. එය සිදුවන්නේද තමන් පෙර භවයේ කරන ලද කුසල් ක්‍රියා හේතු කොට ගෙන බව දැන ගත යුතුය. කුජ, රාහු, සෙනසුරු සමඟ කේතු උපතින් කේන්දරයේ සිවුවැන්නේ යෙදීම හෝ දෘෂ්ටියට ලක්වීමද සිවුවැන්න අධිපතියා ඉහත කී පාපී ග්‍රහයෙක් සමඟ 6, 8, 12 දුෂ්ට භාවයක සතුරුව හෝ නීචව යෙදී සිටීම මේ ආදී කරුණු සිදුවන්නේ පෙර භවයේ කරන ලද බලවත් අකුසල් පාප ක්‍රියා හේතු කොට ගෙන බව වටහා ගත යුතුය. එවැනි අයට අලුත් නිවෙසක් සෑදීම දවල් හීනයක් පෙනීම වැනි දෙයක් බව පවසමි.