Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජන්ම ඒරාෂ්ටක දෙකක් ගෙවන එජාපයට ඉදිරිය කොහොම වෙයිද?

1 year ago 7 Min read
Subha.lk

    පංචමහා භූතයන්ගෙන් සෑදුණු ලෝකයේ භෞතික, අභෞතික, ජීවී, අජීවී සෑම වස්තුවක් කෙරෙහිම ජ්‍යෙතිෂයේ බලපෑම පවතී. රටක් මූලික කර විමසීමේදී, එම බලපෑම් ආර්ථික, සාමාජික, ආගමික මෙන්ම දේශපාලනික වශයෙන්ද හඳුනා ගැනීමට හැකිය. දේශපාලනික වශයෙන් බලනවිට දේශපාලනයෙහි නිරතවූවන්ට මෙන්ම දේශපාලන පක්ෂ කෙරෙහිද ජ්‍යෙතිෂමය බලපෑමක් පවතී. ලංකාවේ දේශපාලනය ඇසුරින් මෙම තත්ත්වය විමර්ශනය කිරීමට දරන උත්සාහයක් ලෙස මෙම ලිපිය හැඳින්විය හැකිය. 

    දිගුකලක් ජනතා විශ්වාසය දිනාගත් දේශපාලන පක්ෂ අතරින් පැරණි පක්ෂයක් ලෙස හැඳින්වෙන එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමට නායකත්වය දීමේ ගෞරවය ජාතියේ පියා වශයෙන් සැලකෙන ඩී.එස්. සේනානායක මහතාට හිමිවේ. 1946 සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ මෙම පක්ෂය විවිධ නායකයන් යටතේ කීර්තිමත් යුග ගණනාවක් පසු කළත්, වර්තමානයේදී සීඝ්‍ර පසුබෑමකට ලක්වී තිබේ.  කුම්භ ලග්නය ජන්ම කේන්දරය වූ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සහ එහි නායකත්වයේ බලපෑම ජ්‍යෙතිෂ විද්‍යාවට අනුව විග්‍රහ කිරීම මෙම ලිපියට පාදක කරගත් ප්‍රස්තුත අරමුණ වේ. 

    සිකුරුගේ විංශෝත්තරි දශාවෙන් ආරම්භ වූ මෙම පක්ෂය වාර්තා සහගත බලයකට හිමිකම් පෑවේ 1977 පැවති මහ මැතිවරණයෙනි. එම අවස්ථාව වනවිට ලංකා කේන්දරයෙහි දහවැනි භාවයේ ගෝචර වී සිටි නෙප්චූන් ග්‍රහයාගේ බලපෑමත්, දේශපාලනය නියෝජනය කරන රාහු අටවැනි භාවයේ ගෝචර වී සිටීම සහ ලග්නාධිපති වූ සෙනසුරු ග්‍රහයා සතුරු බලයෙන් යුතුව හයවැනි භාවයේ පතිත වී සිටීම එවකට පාලන බලයේ රැඳී සිටි රජයට අයහපත් ලෙසට බලපෑමක් වීම මෙම ජයග්‍රහණයට ප්‍රබල ලෙස හේතුවිය. එම තත්ත්වය තවදුරට වර්ධනය කරමින් එවකට පැවති රජය කෙරෙහි මහජන අප්‍රසාදය වැඩි කිරීමට අටවැන්නාධිපති හයවැන්නේ සතුරු බලයෙන් සිටීමද හේතුවිය.

   මෙවැනි පසුබිමක් තුළ 1977 වර්ෂයේ මැද භාගය වනවිට එක්සත් ජාතික පක්ෂයට රාහු මහ දශාව ලබා තිබිණි. පක්ෂ කේන්දරයේ රාහු ග්‍රහයා උච්ච බලයෙන් සිටි නිසා, එවකට විරුද්ධ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ශුභවාදී ආකල්ප ඉතා වේගයෙන් ජනතාව අතර පැතිරී යෑමට පටන් ගැනිණි. එම අවස්ථාවේ රාහු ග්‍රහයා ගෝචර ගමනින් ලංකා කේන්දරයේ අටවැන්නේ සිටි අතර, අටවැනි භාවය අධිපති නපුංසක ග්‍රහයෙක් වූ බුධ ග්‍රහයා සහ පාපී සෙනසුරු ග්‍රහයා රවි ග්‍රහයා සමඟ යෝග වී හයවැන්නේ සිටීමෙන් සියලු සතුරන් පරාජය කළ හැකි පරිසරයක් එක්සත් ජාතික පක්ෂයට ජ්‍යෙතිෂමය වශයෙන් උදාවී පැවැතිණි. 

    මෙවැනි ග්‍රහ පිහිටීමක් පැවති පසුබිමක එවකට එක්සත් ජාතික පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ නායකත්වය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උත්පත්ති කේන්දරයේ ගුරු ලග්නගත වී සිටි අතර, ගෝචර ගමනින් දහවැන්නේ ගමන් කිරීම නිසා ජන්මියා එම අවස්ථාවේ සිටි තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමට එම ග්‍රහ බලය හේතුවිය. 

එදා එවැනි ජයග්‍රාහී බලයක් අත්පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවුණ නමුදු, වර්තමාන තත්ත්වය එතරම් ශුභදායී නොමැති බව විද්‍යමාන වේ. එම පක්ෂය වටා ඒකරාශී වී සිටි බොහෝ පාක්ෂිකයන් පක්ෂය හැර යමින් සිටින අතර පොදු මහජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී තිබේ. ඒ සඳහා බල පැවැත්වූ ග්‍රහ පිහිටීම විමර්ශනය කිරීමෙන් තත්ත්වය පැහැදිලි කරගත හැකිය.

    කුම්භ ලග්නය හිමි එක්සත් ජාතික පක්ෂයට ලග්න සහ ජන්ම ඒරාෂ්ටක දෙකක්ම පවතී. ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා දොළොස්වැනි භාවයේ ගමන් කරමින් සිටී. රවි නීච වී දහවැනි භාවයේ සිටීමෙන්, පක්ෂයට පීතෘත්වය වූ නායකත්වයෙන් ලැබිය යුතු සහයෝගය අහිමි වෙමින් පවතී. එසේ වීමට බලපා ඇති හේතු විශ්ලේෂණය කිරීම සඳහා නායකත්වයේ කේන්දරයද පාදක කර ගැනීමෙන් සාධනීය තත්ත්වය අනාවරණය කර ගැනීමට හැකිවේ. 

   එක්සත් ජාතික පක්ෂ වර්තමාන නායකයාගේ උත්පත්ති කේන්දරයෙහි ලග්නාධිපති ගුරු ග්‍රහයා නීච වී, එකොළොස්වැනි භාවයේ සිටී. මෙම ගුරු ග්‍රහයා 2021 නොවැම්බර් 20 වැනි දින දොළොස්වැනි භාවයට පැමිණීමෙන් පක්ෂය පිළිබඳ දැඩි පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ පෑමට සිදුවේ. පක්ෂ නායකයාද ජන්ම ඒරාෂ්ටකයක් මෙන්ම, දශා වශයෙන් බැලීමේදී 22 වැනි දෙර්කාණාධිපතිගේ අතුරු දශාවද ගෙවමින් සිටී. 

    එක්සත් ජාතික පක්ෂ කේන්දරයට අනුව එහි 64 වැනි නවාංශකාධිපති වූ සෙනසුරුගේ මහ දශාව ගෙවමින් සිටින අතර දැනට ගෙවනු ලබන්නේ 22 වැනි දෙර්කාණාධිපතිගේ අතුරු දශා කාලයයි. ඉන්පසු ලබන රවිගේ අතුරු දශාව පක්ෂයට යහපත් කාලයක් උදා කිරීමට හේතු වුවත්, නායකයාට බලපා ඇති පාප කර්තරී ග්‍රහ බලපෑමත් පක්ෂ කේන්දරයේ පවතින පාපී ග්‍රහ පිහිටීමත් දැනට ගෙවන මහ දශාව වධ දශාවකට අයත් වීමත් නිසා එක්සත් ජාතික පක්ෂයට ඉතා පීඩාදායක කාලයක් අවසන් කරමින් සිටින බව ජ්‍යොතිෂමය සිද්ධාන්තවලට අනුකූලව පැහැදිලි වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk