සිදුහත් කුමරුට මෙන් සකල ශිල්පය පිහිටන්නට දරුවට අත්පොත් තබන්නේ මෙහෙමයි.
මවුපිය යුවළකට ලැබුණු දරුවකුට පාසල් යැමට පෙර අනාගතය වෙනුවෙන් සිදුකරන පුධාන චාත්රයකි අකුරු කියැවීම. පෙර පාසල් යායුතු නිසා වයස අවුරුදු 3 ලබා 4 සම්පූර්ණ වීමට පෙර අකුරු කියැවීම සිදුකළ යුතුය.
නිසි වයස ලැබූ පසු ඔබේ ජ්‍යොතිෂවේදියා විසින් සරස්වතී හෝ වෙනත් ප්‍රබල යෝගයක් සහිත නැකැතක් හා දිනයට අදාළ වර්ණය සමඟ සකසා දෙනු ඇත.
අකුරු කියැවීම මවුපියන්ගෙන් කෙනෙකු කරන්නේ නම් දරුවාට චකිතයක් ඇති නොවන අතර එසේ නොමැති නම් ප්‍රදේශයේ උගත් වැඩිහිටියකුට වේලාසන ආරාධනා කරන්න.
කලින් දිනයක පාටට ගැළපෙන ඇඳුමක්, සිංහල-දෙමළ-ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් ඇතුළත් හෝඩි පොතක්, තිත් සහිත අකුරු හා ඉලක්කම් ලියන පොත් 2ක්, පැන්සලක්, මකනයක් හා අවශ්‍ය යැයි සිතෙන වෙනත් දේද මිලදී ගන්න.
නැකැත් වේලාව වනවිට අවම වරු 3ක්වත් දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාම කිලිවලට අසු නොවී, මාංස ආහාර හා මත්පැන් වලින් තොරව පේ විය යුතුය.
නැකැත් දිනයට පෙර දින පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය නිවෙසට ගෙනැවිත් තබා සවස්වරුවේ දරුවා, මවුපියන් නා පිරිසුදු වී තම විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ බෝධි පූජා පවත්වා බෝධීන් වහන්සේ පැනින් නාවා පිරිත් සජ්ඣායනා කොට දෙවියන්ට හා මළගිය නෑයන්ට පින් අනුමෝදන් කරන්න.
අකුරු කියැවීමේ නැකැත් වේලාවට පැය 2කට පමණ කලින් මුළු පූජා ප්‍රදේශයම පිරිසුදු කර කහ වතුරින් සෝදා සුදු ඇතිරිල්ලක් එලූ මේසයක් මත තවත් සුදු ඇතිරිල්ලක් එලු කුඩා ස්ටිල් එකක් තබා ඒ මත බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් හෝ රූපයක් තබා දෙපස ආනන්ද තෙරුන්ගේ (දකුණ) හා සැරියුත් තෙරුන්ගේ (වම) රූප තබා බුද්ධ පූජා, පැන්, දැහැත්, මල්, සුවඳ දුම්, පහන් පූජා කරන්න.
මේසය මත වී, ලදපස්මල් අතුරා ඒ මත බුලත් කොළ 21ක් තබා කහ වතුරින් සේදූ පඬුරු 21ක් තබන්න.
මේසය මත ඊතණ මාලයක් පැලැන්දූ ගණ දෙව් රූපයක් (ප්‍රතිමා ඉතා සුදුසුය) මැදි කොට දෙපසින් සරස්වතී දෙවඟන (දකුණ) සහ ලක්ෂ්මී දෙවඟන (වම) රූප තබා රතු (ගණ දෙව්/ ලක්ෂ්මී දෙවඟන) හා සුදු (සරස්වතී දෙවඟන) නෙලුම් මල් සහිත මල් වට්ටි 2ක්, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක්, පලතුරු 7ක් සහිත හා උක් කැබලි කිහිපයක් සහිත පූජා වට්ටියක්, කැවිලි වර්ග 7ක් සහිත හා අමතරව ලඩ්ඩු බූන්දි, දොදොල් ඇතුළත් කැවිලි භාජනයක්, ගිතෙල්, මී පැණි, හඳුන් හා පස් තෙල් විවෘත කළ කුඩා කුප්පිය බැගින් සුද්ද කර දෙපළු කළ එක් බෑයක පොල් වතුර සහිත පොල් බෑ දෙක, බුලත්, පුවක්, සාදික්කා, වසාවාසි, ඉඟුරු පියලි පූජාවක්, පැන් හා කිරි බඳුන් 2, දැල්වූ හඳුන්කූරු සහ සඳුන් තෙල් මිශ්‍රිත එළඟිතෙල් පහනක් පූජා කරන්න. අඹ කොළ 5ක් මත තැබූ වතුර 3/4ක් පිරවූ කුඩා කළ යක්, පිරිත් නූල්, දරුවාට අවශ්‍ය පොත් හා උපකරණද මේසය මත තබා දෙහි හෝ පුවක් මල් කිනිත්තකින් කහ දියර ඉස පසුව පිනි දියර ඉසින්න. ඉන් පසු මුළු ප්‍රදේශයටම අෂ්ට ගන්ධ ධූපයෙන් දුම් අල්ලන්න. අකුරු කියවන්නා හා දරුවා කුඩා ස්ටිල් එකක් ඉදිරියෙන් වාඩි කරවන්න. නැකැත් වෙලාවට පැයකට කලින් මෙම කටයුතු අවසන් කර සිංහල බෞද්ධ චාරිත්‍රයට අනුව පළමුව බුදුන් වහන්සේ ප්රමුඛ මහ සංඝරත්නයට තිසරණ පංචශීලය සමාදන් වී සියලු පූජාවන් අදාළ ගාථා කියා පූජා කර තුන් සූත්‍රය හා ජය පිරිත සජ්ඣායනා කොට එම පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න.
අනතුරුව දරුවාට සිද්ධාර්ථ කුමාරයාට මෙන් සකල ශිල්ප ශාස්ත්රයත්, සැරියුත් තෙරුන්ට මෙන් ප්‍රඥාව හා නුවණත්, ආනන්ද තෙරුන්ට මෙන් ධාරණ ශක්තියක් පිහිටත්වායි ප්‍රාර්ථනා කරන්න.
හින්දු චාරිත්‍රයට අනුව ගණ දෙවියන්, සරස්වතී හා ශ්‍රී ලක්ෂ්මි දෙවඟන ඇතුළු දේව මණ්ඩලයට පූජා මණ්ඩපයට වඩිනා ලෙස ආරාධනා කර දෙවියන්ට පින් අනුමෝදන් කර දරුවාගේ හිසේ පහන් වැටවලින් ගත් තෙල් ස්වල්පයක් ආලේප කර නළලේ තුන්නූර් කුඩුවලින් තිලකයක් තබා ඉහත දෙවිවරුන් තිදෙනාට ඔබ අනුමෝදන් කළ පින් බලයෙන් අනාගතයේදී දරුවාට දැනුම, බුද්ධිය, නුවණ, ධාරණ ශක්තිය, කලාව, වීර්යය, වාසනාව, ජයග්‍රහණය ලබාදී රටට වැඩදායී බහුශ්‍රැත පඬිරුවනක් වීමට ආශීර්වාදය ලබාදෙන ලෙස ඉල්ලන්න. නැකැත් වේලාවට විනාඩියකට කලින් තමා එක් අතකින් දරුවාගේ හිස පිරිමදින අතරතුර අනෙක් අතින් ‘ස්වස්ථි සිද්ධිම්' කියා හෝඩි පොත දරුවාගේ දෑතට දී නියමිත නැකැත් වේලාවට 'අ' යන්නත් දෙවනුව ‘ස යන්නත් කියවන්න.
අකුරු කියැවූයේ නැති නම් රූපය පෙන්වමින් මේ කවුදැයි අසා වචනය දරුවා ලවා කියවාගන්න.
වේලාවට අකුරු කියැවූයේ නැති නම් දුක් නොවන්න. ඒ අප විසින් බුදුන් ඇතුළු තෙරුවන්ටත්, ගණ, සරස්වතී, ශ්‍රී ලක්ෂ්මී ප්රමුඛ දේව මණ්ඩලයටත් දරුවාගේ අනාගතය භාර කර ඇති බැවිනි.
අනතුරුව දෙමළ, ඉංග්‍රීසි අකුර බැගින් කියවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අකුරු හා ඉලක්කම් තිත් ඉරි සහිත අකුරු මත ලියවන්න. සුළු වේලාවක් චිත්‍ර අඳිමින් දරුවාට කාලය ගත කිරීමට සලස්වන අතරතුර පැමිණි අය දරුවාට ත්‍යාග ලබාදෙන්න. පසුව සියලු දෙනා එක්ව නිර්මාංස තේ හෝ ආහාර වේලක් භුක්ති විඳින්න. පූජාව සඳහා අදාළ චාරිත්රකරුවකු කැඳවා ගන්නේ නම් ඔබ නොදන්නා බීජ මන්ත්‍ර, ස්තෝත්ර, ගයත්‍රි මන්ත්‍රද අදාළ දෙවිවරුන් වෙනුවෙන් ගායනා කරවා ගත හැකිය. ඉදිරි ලිපිවලින් බීජ මන්ත්‍ර, ස්තෝත්ර ගයත්‍රි මන්ත්‍ර බලාපොරොත්තු වන්න....
අධ්‍යාපන කටයුතුවලට දුර්වලකම් ඇති දරුවන්ටද ඉහත බෞද්ධ හා හින්දු පූජාව කර අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කර දෙන ලෙස ආශීර්වාදය ලබා ගැනීමෙන් එම දරුවන්ට මහඟු ප්‍රතිඵල අත්වන බවද සඳහන් කරමි.