Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුබ මොහොතින් අලුත් ගෙදරට පිය නගමු

1 year ago 7 Min read
Subha.lk

අලුතින් නිවෙසකට ගොඩ වදින විට එයද සුබ දවසක, සුබ වේලාවකට කළ යුතුය. ඔබගේ ජ්‍යොතිෂවේදියාගෙන් මේ සඳහා සුබ දිනයක් හා සුබ වේලාවක් සාදා ගත යුතුය. මේ සඳහා සුබ දින ලෙස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයක් යොදාගන්නට පුළුවන. බොහෝ විට මේ සඳහා ගනු ලබන්නේ පුර පක්ෂයේ දිනයක්ය. කෝණ මාසවලදී ගෙට ගෙවදීම සිදු කරනු නොලැබේ. ගෙට ගෙවදින්නට සුබ දිනයක් සාදා ගැනීමේදී පවුලේ සියලු දෙනාගේම උපන් නැකැත්වලට ගැළපෙන සුබ දිනයක් සාදා ගැනීම යහපත්ය. මෙම දිනය සුබ යෝග ඇති දිනයක් නම් වඩාත් සුදුසුය.

 

ගෙට ගෙවදින සුබ දිනයේදී පවුලේ සියලු දෙනාම කල් වේලා ඇතිව ස්නානය කර හෝ පවිත්‍ර වී පිරිසුදු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටිය යුතුය. සුබ මොහොත උදාවන විට ගෙහිමියා සහ නිවෙසේ පදිංචි වීමට බලාපොරොත්තු වන අය ගෙට ඇතුළු වෙයි. පළමුව ගෙහිමියා ගෙට ඇතුළු වෙයි. ඉන්පසු අනිත් අය ගෙට ඇතුළු වෙයි.

 

ගෙහිමියා විසින් තම නිවෙසට ඇතුළු වීමේදී රන් - රිදී ආභරණ බුද්ධ ප්‍රතිමාවක් හෝ බුද්ධ පින්තූරයක්ද පොල්තෙල් පහනද රැගෙන ඇතුළු වෙයි. මුළුතැන්ගෙය සහිත නිවෙසකට යනවානම් කීර්බතක් උයන්නට අවශ්‍ය ද්‍රව්‍යද රැගෙන යා යුතුය. වතුර තැටියක්ද නිවෙසට ඇතුළු වනවිට ගෙන යෑමට පුළුවන. කිසිම අයෙක් හිස් අතින් නිවෙසට ඇතුළු නොවිය යුතුය. තමන්ට ගෙන යා හැකි කුමන හෝ දෙයක් රැගෙන ගෙට ඇතුළුවන්න. මෙදින මස්, මාළු මෙන්ම මත්පැන්ද නිවෙසට නොගන්න. සියලු දෙනාම මෙදින මස්, මාළු අනුභවයෙන් මෙන්ම මත්පැන්වලින්ද තොරවිය යුතුය.

 

සුබ නැකැතට නිවෙසට ඇතුළු වූ පසුව නිවෙසේ ඊශාන දිශාවේ බුද්ධ ප්‍රතිමාව හෝ බුද්ධ පින්තූරය තබා ආගමික වතාවක්ද ඉටු කරන්න. පොල් තෙල් පහනද සුබ දිශාව බලා දල්වන්න. එසේම සුබ වෙලාවට සුබ දිශාවට ළිප ගිනි මොළ වන්නටද පුළුවන. සුබ වෙලාවට සුබ දිසාව බලා ළිප ගිනි මොළවා කිරිබතක් උයන්නටද පුළුවන. කිරි උතුරන්නටද නිවෙසට සුවඳ දුම් අල්ලන්ටද පුළුවන. නිවෙසේ සෑම තැනටම කහ වතුර ඉස සුවඳ දුම්ද අල්ලා නොපෙනෙන බලවේග අයින් කරන්නට පුළුවන. ආහාර අනුභවයට පෙර බුද්ධ පූජාව තබා ආගමික වතාවන්ද ඉටු කරන්න. මේ වෙලාවට සෙත් පිරිත් කියන්නටද පුළුවන.

 

නිවෙසට ගොඩවදින දිනයේ ආරාධිත අමුත්තකුට ආරාධනා කර ඇත්නම් ගෙය අලෙවි කිරීමට ආරාධනා කරන්න. ගෙය අලෙවි කිරීම යනු ආරාධිත අයකු විසින් හෝ හිතවත් අයකු විසින් තමන්ට කරන ලද සංග්‍රහ වලට යම්කිසි පරිත්‍යාගයක් හෝ මුදලක් එම නිවැසියන්ට පරිත්‍යාග කිරීමයි. ගෙය අලෙවි කිරීමට තමාට හිතවත් අයකුට හෝ තමාගේ අත හිත දියුණුවට වැඩ කරන අයකුට පවසන්න.

 

කෑම මේසය පිළියෙල කර ආරාධිත අයට වතුර අල්ලා ආරාධනා කරන්න. පසුව ආරාධිත අමුත්තා විසින් නියමිත සුබ දිසාව බලා පොල්තෙල් පහන දල්වයි. ඔහු කෑම මේසයට වාඩි වූ පසුව නිවෙසේ අය විසින් ඔහුට කෑම බෙදා දෙයි. ආහාර අනුභවයෙන් පසුව ආරාධිත අමුත්තා විසින් ගෙහිමියාට පරිත්‍යාගයක් කරයි. ඉන්පසු ගෙහිමියා විසින් ඔහුට රැගෙන යෑමට කැවිලි පාර්සලයක්ද දිය යුතුය.

 

ඉන් පසුව පැමිණ සිටින අනිත් අයට සංග්‍රහ කරන්න. මෙදින කිලිටි හැඳගත් අය හෝ යාචකයන් නිවෙස තුළට නොගන්න. ඒ අයද සිටිනවා නම් නිවෙසින් පිටතදී මොවුනට සංග්‍රහ කරන්න. ගෙට ගෙවදීමෙන් පසුව සාංඝික පිරිතක් හෝ ගිහි පිරිතක් කියවීම ඉතා යහපත්ය. මෙදින පිනක් කියන්නට බැරිනම් පසු දිනයක හෝ ළඟම දිනයක පිරිතක් කියවා පසුදින හීල් දානයද දෙන්න. එයින් ඔබ නිවෙසේ ඇති අසුබ ශක්ති නැති වී යහපතක් වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk