Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මහපට ඇගිල්ල බලා කියන චරිත ලක්ෂණ

1 year ago 7 Min read
Subha.lk

සාමුද්‍රකා ශාස්ත්‍රය අනුව අත්ල පරීක්‍ෂා කිරීමේදී අත්ලේ රේඛාවල පිහිටීම මෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි එකකට එකක් සමාන නොවන්නා සේම එක් එක් අයගේ ඇඟිලි පිහිටි ආකාරය අනුවද එක් එක් අයගේ ගතිගුණ මෙන්ම ජීවන රටාවන්ද විවිධය.

 

අතේ ඇඟිලි දබරැඟිල්ලේ සිට සුළැඟිල්ල දක්වා ඇඟිලි හතර පටන් ගන්නා ස්ථාන (ඇඟිලි මුල) එක පේළියට හෙවත් එකම මට්ටමකට තිබීම ශෝභන දැක්මක් වගේම එය සමාජයේ උසස් තත්ත්වයකට පත්වන අයගේ අත්ල මත දැකිය හැකි ලක්‍ෂණයකි. බොහෝ අයගේ අත්ලේ මෙම ඇඟිලි ආරම්භ වන කොටස ආරුක්කුවක හැඩය ගනී. එය අශුභ ලකුණක් නොවූවත් එයින් ඇතිවන සුඛ පලයක්ද නැත.

 

සමුද්‍ර සෘෂිවරුන් පෙන්නා දුන් පරිදි අතේ ඇගිලි වනාහී විශ්වයේ ඇති ග්‍රහයන්ගේ චලන ශක්තීන් රැස්කර ගන්නා ඇන්ටනාවක් බඳුය.

 

අත්ලේ ඇඟිලි පහ ග්‍රහයන් පස් දෙනකුට අයත් වෙයි. ප්‍රධාන ඇඟිල්ල හෙවත් මහපටැඟිල්ල සිකුරුගේ සහ කුජගේ බලයත් දබර ඇඟිල්ල ගුරු ග්‍රහයාගේ බලයත් මැදඟිල්ල සෙනසුරුගේ හෙවත් ශනිගේ බලයත් වෙදැගිල්ල රවි ග්‍රහයාගේ බලයත්, සුළැඟිල්ල බුධ ග්‍රහයාගේ බලයත් පෙන්නුම් කරයි.

 

සඳු හෙවත් චන්ද්‍රයාට ඇඟිල්ලක බලයක් නැතත් චන්ද්‍රයා හිරුගේ බලයෙන් දීප්තිය ලැබීමත් නිසා අන් සියලු ඇඟිලිවලින් මිනිස් සිරුරට එන ශක්තීන් අත්ලේ චන්‍ද්‍ර මණ්ඩලය තුළ ඇති කරයි.

 

දබරැඟිල්ලේ නිය සහිත පුරුක මේෂ රාශියටද මැද පුරුක වෘෂභ රාශියටද මුල පුරුක මිථුනයටද, මැදඟිල්ලේ මුදුන් පුරුක මකරයටද මැද පුරුක කුම්භයටද, මුල පුරුක මීනයටද, වෙදගිල්ලේ මුදුන් පුරුක කටකයටද දෙවැනි පුරුක සිංහයටද මුල පුරුක කන්ත රාශියටද, සුළැඟිල්ලේ මුදුන් පුරුක තුලාවටද මැද පුරුක වෘශ්චිකයටද, මුල පුරුක ධනු රාශියටද අයත් වෙයි. ඇඟිලි අතරින් සුවිශේෂී ස්ථානයක් මහපට ඇඟිල්ලට හිමි වෙයි. සිකුරු මණ්ඩලයෙන් ඇරැඹෙන මහපටඟිල්ල සිකුරු ග්‍රහයාටද අයත් වේ. පහසුවෙන් නොනැමෙන සුලු මහපටැඟිල්ලක් පිහිටීම දැඩි ආත්ම ශක්තියක් ඇති කුමන ප්‍රශ්නයක් හමුවේ වුවද නොසැලෙන අයෙක් පෙන්නුම් කරයි. ඉතා ගෞරවනීය ලෙස ජීවිත ගත කරන අයගේ අත්වල මෙවැනි ආකාරයේ මහපටැගිල්ලක් පිහිටයි.

 

මහපටගිල්ලේ නිය සහිත පුරුක මැද පුරුකට වඩා දික්වුවහොත් බුද්ධියට වඩා අධිෂ්ඨානයෙන් ධෛර්යයෙන් තමන්ගේ දියුණුවට සලසාගනී. මැද පුරුක නිය සහිත පුරුකට වඩා දිගු වුවහොත් කාර්යශූර නොවන කුසීත බවක් පෙන්නුම් කරයි.

 

මහපටැගිල්ලේ අග පුරුක දබරැඟිල්ලේ මුල පුරුකට වඩා දිගු වුවහොත් අධිෂ්ඨාන ශක්තියත් තර්ක කිරීමේ ශක්තියත් මනාව ප්‍රකට කෙරෙන අතර මුල පුරුකට වඩා එය කෙටි වුවහොත් බුද්ධි හීන වේ. මහපටැගිල්ලේ අග පුරුක දබරැඟිල්ලේ දෙවැනි පුරුකේ ස්පර්ශ වේ නම් හෙතෙම ශිල්ප ශාස්ත්‍ර විවිධ කර්මාන්තයන්හි ප්‍රවීණයෙක් වෙයි. මහපටැඟිල්ලේ නිය සහිත පුරුක මැද පුරුකට සමානව දිගු නම් බුද්ධියත් අධිෂ්ඨානයත් සමානව බුද්ධිමත් අයකු වේ.

 

අත්ලට නොගැළපෙන තරම් කුඩා මහපට ඇඟිලිද සමහර විට දැකිය හැකියි. ඔවුන් බොහෝ විට අධෛර්යවත් පුද්ගලයන් වන අතර ඔවුන් කරන කටයුතුද අවුල්සහගතය. ආහාරවලට වැඩි ගිජුකමක් දක්වන ඔවුන් රාගාධිකද වෙයි. අශෝභන අදහස් නිතර පළ කරන ඔවුන් බොහෝ විට නිකරුණේ කල් ගෙවන්නෝ වෙති. ඔවුන්ගේ චරිතයද දුර්වලය. ඔවුන් අන් අයට නායකත්වය දීමට ඉදිරිපත් වෙනවා හැරෙන්නට තමන්ට එම තත්ත්වය දීම නුරුස්සති.

 

අත්ලට සමාන නොවන තරම් විශාල වූ එමෙන්ම දිගින් යුතු මහපට ඇඟිල්ලෙන් හෙළි කරන්නේ පුද්ගලයකු සතු ශක්තිමත් ස්වභාවයයි. උසස් සිතිවිලි සහිත ඥානයෙන් මෙන්ම බලයෙන්ද යුතු පෙර පින් බල ඇති අයට එවැනි මහපටැඟිල්ලක් පිහිටයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔවුන් කටයුතු කරන්නේ යහපත් බුද්ධියෙන් යුතුවය. දූරදර්ශී ඥානයෙන් යුතු බැවින් ඔවුන් ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්නෝද වෙති. අත්ලේ ඉතා පහළින් මහපටැඟිල්ල පිහිටියේ නම් ඔවුහු සමාජයේ කා සමඟත් සහයෝගයෙන් සිටීමට කැමැති කාරුණික, ත්‍යාගශීලී අය වෙති. උසස් මානසික ගුණ ධර්මවලින් පිරුණු මෙවැනි අය අන්‍යයන්ගේ සැපට දුකට හැම විටම පිහිට වෙති.

 

මනුෂ්‍යයාගේ මහපටැඟිල්ල කොටස් තුනක් ලෙස පුරුක්වලින් වෙන්වී ඇත. එයින් මුල පුරුක

1 කාම ස්නේහ බලය ලෙසද

2 වැනි පුරුක හෙවත් මැද පුරුක තර්ක විතර්ක බලය ලෙසද අග පුරුක හෙවත් නිය අසල පිටි කොටස චෛතසික බලය කියාද හඳුන්වති. මේ අතරින් මුල පුරුක මධ්‍යම ප්‍රමාණයෙන් පිහිටියේ නම් හේ නොබිඳෙන පෙම් සබඳතාවක් පවත්වාගෙන යන සරල ජීවිතයක් ගත කිරීමට කැමැති යහපත් අයකු වේ. මැද කොටස වෙන්වන රේඛා කාම සුඛ රේඛා ලෙස හඳුන්වන අතර එම රේඛා නොකැඩී ප්‍රබලව තිබීම සාර්ථක විවාහයට හේතුවෙයි. රේඛා බිඳී යෑම සුබදායක නොවේ. පුරුක් අතර යම් සලකුණක් (ධාන්‍ය ලකුණක්) වේ නම් එය ඉතා වාසනාවන්තය. සැපවත් ජීවිතයක සලකුණක් ලෙස එය හස්තරේඛා විද්‍යාවේ සඳහන් වෙයි. මහපටැඟිල්ල නොනැමෙන සුළු ඍජුව පිහිටි පුද්ගලයන් අන් අයගේ පාලනය නුරුස්සන අන් අයව පාලනය කිරීමේ දක්‍ෂයන් වෙයි. මහපටැඟිල්ල අධික ලෙස පිටි අතට නැමී ඇත්නම් එවැනි අය නැමෙනසුලු අදහස් ඇති අයකු විය හැකිය. අන් අය කෙරෙහි වඩා විශ්වාස කිරීමෙන් තමනට අහපතක් කරගන්නා අතර බොහෝ විට අන් අයගේ රැවටීම්වලට හසුවේ.

 

 

ජෝතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk