Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කිරි ගහට ඇන්නා වගේ හරියටම හරියන්න බාරයක් වෙන හැටි

1 year ago 7 Min read
Subha.lk

දෙවියන් උදෙසා පඬුරක් ගැට ගැසීම සඳහා ඔබට කපුවකුගේ හෝ පූජකයකුගේ උපකාරයක් ලබා ගැනීම අත්‍යවශ්‍යම නොවේ. එය ඔබටද තනිවම කරගත හැකිය. අවශ්‍ය වන්නේ නිවැරැදි වත්පිළිවෙත් පිළිබඳව දැනුවත්භාවය පමණයි.

දෙවියන්ට පඬුරක් ගැට ගැසීමට අවශ්‍ය දේවල් මෙසේය.

 

ඒ අදාළ දේවතාවාට ආවේණික වූ වර්ණයෙන් යුත් රෙදි පටියක්.

(උදාහරණයක් ලෙස කාලි මෑණියන්ට නම් රතු වර්ණ රෙදි පටියක්ද, විෂ්ණු දෙවියන්ට නම් නිල් වර්ණයද, ගණ දෙවියන්ට නම් කහ වර්ණයද, සූනියම් දෙවියන්ට නම් සුදු වර්ණය ද ආදීකොට වේ)

 

පඬුරක් වශයෙන් රිදී කාසියක් (මේ සඳහා ඔබට අලුත් 10 කාසියක් භාවිත කළ හැකිය)

සුද්ද කළ මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්

"එළඟිතෙල් හෝ පොල්තෙල් පහනක්

බුලත් කොළයක් කපුරු පෙති කිහිපයක්

 

දෙවියන්ට පඬුරු ගැට ගසන ආකාරය

 

 දෙවියන්ට පඬුරක් ගැට ගැසීමේදී ඒ ඒ දෙවියන්ට අදාළ විශේෂ වූ දිනයට පඬුර ගැට ගසනවා නම් වඩාත් සුබය. පඬුර ගැට ගැසීමේ කටයුත්ත ඔබට ඔබගේ නිවෙසේදීත්, දේවස්ථානයකදීත් කරගත හැකිය.

 

මෙහිදී දේවස්ථානයක (කෝවිලක හෝ දේවාලයක) පඬුරු ගැට ගසනවා නම් එහි ප්‍රතිඵල වඩා යහපත් හා ඉක්මන් වනු ඇත. තම නිවෙසේ පඬුරු ගැට ගැසීමත් වරදක් නැත. ඒ සඳහා ඔබට ඔබ නිවෙසේ ඇතුළත හෝ පිටත දෙවියන්ට වන්දනා කරන පූජා ස්ථානයක් වේ නම් එහිද,

එසේ ඔබට පූජා ස්ථානයක් නැති අයකු නම්, තම ගෙවත්තේ පිරිසුදු ස්ථානයක පිහිටි කිරි ගසක් ද පඬුරු ගැට ගැසීම සඳහා භාවිත කළ හැකිය.

 

දේවස්ථානයකදී පඬුරු ගැට ගසන ආකාරය

දේවස්ථානයට යෑමේදී ඔබ හොඳින් නා පිරිසුදු වී යා යුතුය. පළමුව ඔබ දෙවියන්ට පහන් දල්වන ස්ථානයේදී බුලත් කොළය මත පහනක් දල්වා දෙවියන් සිහි කර පූජා කරන්න. පසුව ඔබ සූදානම් කර ගත් රෙදි පටියට කාසිය තබා එම කාසිය ගැටයක් ගසා ගන්න. නමුත් ගැටය තද නොකරන්න. (මෙම රෙදි පටිය හා කාසිය කහ වතුරෙන් සෝදා සූදානම් කරගෙන තබාගත යුතුය) දැන් තද නොකර ගත් පඬුර තමන්ගේ දෑතේ තබාගෙන ඔබ දෙවියන්ට වන්දනා කරන්නට පටන් ගන්න. මෙහිදී ඔබට දෙවියන්ගේ මුල මන්ත්‍රය 07 වරක් කියා, ඔබ දන්නා ස්තෝත්‍ර කිහිපයක් ද කියා වන්දනා කරන්න. පසුව බොහොම ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව දෙවියන්ට තමන්ගේ දුක් ගැනවිල්ල කියා තමන්ට අවශ්‍ය පිහිට ආධාර ඉල්ලා සිටින්න. ඔබගේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ඉෂ්ට වූ පසු ඔබ විසින් දෙවියන්ට ඔප්පු කිරීමට සිතා ගත් දේ ඔප්පු සිද්ධ කරන බවට දෙවියන් ඉදිරියේ පොරොන්දු වන්න.

 

 (දෙවියන්ට බාර වීම සඳහා පලතුරු කැවිලි පූජාවන්, නෙළුම් මල්, දෙහිමාලා, මල්මාලා, සළුපිළි, දේවාභරණ, විවිධ ප්‍රමාණයන්ට පහන් දල්වා පූජා කිරීම, දේවදාන ලබාදීම ආදී පූජාවන් ඔබේ හැකියාවන් මත සිදු කළ හැකිය. නමුත් ඔබ දෙවියන්ට ඔප්පු කරන පූජාව, ඔබ විසින් දෙවියන්ට බාර වූ කාරණයට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල හෝ සරල ආකාරයෙන් දීම ඔබ ඔබේ හදවතට එකඟව සිදු කළ යුතුය) දෙවියන්ට කන්නලව් කිරීමේ කටයුත්තෙන් පසුව මෙතෙක් තද නොකළ පඬුර තද කර, දේවස්ථානයේ පඬුරු ගැට ගසන ස්ථානයේ පඬුර ගැට ගසන්න.

 

පසුව ඔබ විසින් රැගෙන ආ සුද්ද කරන ලද පොල් ගෙඩිය මත කපුරු පෙති කිහිපයක් දල්වා, පොල් ගෙඩියේ  මුඩ්ඩ දෙවියන්ගේ දෙසට සිටින සේ පොල් ගෙඩිය අල්ලාගෙන නැවත වතාවක් ඔබගේ කන්නලව්ව දෙවියන්ට සිදු කරන්න. පොල් ගෙඩිය මත ඇති කපුරු නිවී යන තෙක් ඔබ විසින් දෙවියන්ට කන්නලව් කිරීමෙන් පසුව එම පොල් ගෙඩිය ද දේවස්ථානයේ පොල් බිඳින ස්ථානයට ගොස් තුන්වරක් ඔබේ හිස වටා පොල් ගෙඩිය කරකවා බිඳ දමන්න.

 

අවසාන වශයෙන් නැවත ඔබ දෙවියන් ඉදිරියට පැමිණ, බෞද්ධයන් වශයෙන් ඔබ කළ පින්කමක් සිහි කර එම පින දෙවියන්ට අනුමෝදන් කර පූජාව අවසන් කරන්න.

 

නිවෙසේදී පඬුරු ගැට ගසන ආකාරය

 

ප්‍රථමයෙන් ඔබ පෙර සඳහන් කළ ආකාරයෙන්ම හොඳින් නා පිරිසුදු විය යුතුය.

 

පළමුව මල්, පහන්, සුවඳ දුම් පුදා බුදුන් වඳින්න. ඔබට හැකි නම් තුන් සූත්‍රය හෝ කරණීයමෙත්ත සූත්‍රය පමණක් සජ්ඣායනා කරන්න. (මෙසේ සෙත් පිරිත් කීමෙන් ඔබට දෙවියන්ගේ ආකර්ෂණය හොඳින් ලබාගැනීමටත් ඔබ අතින් සිදු විය හැකි අඩුපාඩුකම් කැපී යෑමටත් ඉතා යහපත්ය) පසුව ඔබට නිවෙසේ දෙවියන්

 

සඳහා වැඳුම් පිදුම් කරන පූජාසනයක් ඇත්නම් එම ස්ථානයේද, නැතිනම් ඔබ බුදුන් වඳින ස්ථානයේද දෙවියන් සිහි කර බුලත් කොළයක් මත තබා පහනක් දල්වා පූජා කරන්න. දැන් එම ස්ථානයේ සිටම දෙවියන් තමන් ඉදිරියේ සිටිනවා යැයි සිතින් සිතාගෙන, පඬුර දෑතට ගෙන ගැටයක් ගසා තද නොකොට තම දෑතේ තබාගෙනම පෙර මා කී ආකාරයෙන්ම දෙවියන්ට වන්දනා කරන්න. කන්නලව් කරන්න. කන්නලව් කිරීමෙන් පසුව බොහොම ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව දෙවියන්ට තමන්ගේ දුක් ගැනවිල්ල කියා තමන්ට අවශ්‍ය පිහිට ආධාර ඉල්ලා සිටින්න. ඔබගේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ඉෂ්ට වූ පසු ඔබ විසින් දෙවියන්ට ඔප්පු කිරීමට සිතා ගත් දේ දේවස්ථානයකදී ඔප්පු සිද්ධ කරන බවට දෙවියන් ඉදිරියේ පොරොන්දු වන්න.

 

දැන් පඬුරේ ගැටය තද කරන්න. තද කරගත් පඬුර ඖබේ ගෙවත්තේ කිරි ගසක අත්තක ගැට ගසන්න.

 

පෙර සඳහන් කළ ආකාරයෙන්ම පඬුරු ගැට ගසන ලද ගස ඉදිරියේ පොල් ගෙඩිය මත කපුරු දල්වා පොල් ගෙඩියේ මුඩ්ඩ පඬුර ගැට ගැසූ ගස දෙසට හරවා දෙවියන් සිහි කර නැවත දෙව්යන්ට කන්නලව් කර තමන්ගේ ඉල්ලීම් ප්‍රාර්ථනා සිදු කර පොල් ගෙඩිය මත ඇති කපුරු නිවී යෑමෙන් පසුව, එම ස්ථානයේම ගලක් තබා එම ගලේ ගසා පොල් ගෙඩිය බිඳගන්න.

 

නැවත ඔබ දෙවියන්ට පහන් දැල් වූ ස්ථානයට පැමිණ තමා විසින් බුදුන් වැඳ පිරිත් සජ්ඣායනා කර රැස් කරගත් පින දෙවියන්ට අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කර! දෙවියන්ට පින් දී පූජාව අවසන් කරන්න.

 

කරුණු ඉටු වූ පසු ඛාරය ඔප්පු, ඛාරය නිදහස් කරන ආකාරය

 

ඔබ දෙවියන්ට බාර ගැට ගසා ප්‍රාර්ථනාවන්, කාරණාවන් ඉටු වූ පසු හැකි ඉක්මනින් එම බාර නිදහස් කළ යුතුමය.

 

දේවස්ථානයක බාරය නිදහස් කරන ආකාරය

 

ඔබ දෙවියන් උදෙසා භාරයක් දේවස්ථානයක ගැට ගැසුවත්, තම නිවෙසේ ගැට ගැසුවත් බාර නිදහස් කළ යුත්තේ දේවස්ථානයක දීමය.  

 

මෙහිදී ඔබ විසින් දෙවියන්ට පොරොන්දු වූ ආකාරයෙන්ම සියලු පූජාවන් කිසිදු අඩුපාඩුවක් නැතිව ලබාදිය යුතුමය. ඒ අනුව ඔබ විසින් අඩුපාඩුවක් නැතිව සකසා පිළියෙල කරගන්නා ලද පූජා වට්ටිය රැගෙන ගොස් දේවස්ථානයේ පූජකයාට ලබාදී පූජාව ඔප්පු සිද්ධ කර ගැනීම වඩාත් උචිතය.

 

නැතිනම් ඔබ ඔබ විසින්ම පූජාව ඔප්පු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ කළ යුතු වන්නේ, ප්‍රථමයෙන් දෙවියන්ට මල්, පහන්, සුවඳ දුම් පූජාවන් සිදු කිරීමයි. ඉන්පසුව ඔබ විසින් සූදානම් කරන ලද පූජා වට්ටිය තම දෑතේ තබාගෙන පෙර කළ ආකාරයෙන්ම දෙවියන්ට තමන් දන්නා ස්තෝත්‍ර කියා වන්දනා කිරීමෙන් පසුව, දෙවියන්ට කන්නලව් කර, ඔබ විසින්  පොරොන්දු ආකාරයෙන් දෙවියන්ට මේ පූජාව අද දිනයේදී මේ ආකාරයෙන් ඔප්පු කරන බව පවසා, දෙවියන්ට ස්තූති කොට පින් දී පූජාව අවසන් කරන්න පුළුවන්. පූජා වට්ටියේ පොල් ගෙඩියක් ඇත්නම් පොල් ගෙඩිය මත කපුරු දල්වා දෙවියන්ට වැඳ නමස්කාර කොට, දෙවියන්ට ස්තූති කොට, ඉදිරියටත් තමාට දෙවියන්ගේ ආශීර්වාදය ලබාදෙන මෙන් ඉල්ලා කපුරු පෙති නිවී ගිය පසු පොල් ගෙඩිය පොල් ගසන ස්ථානයේ ගසා බිඳ දමන්න.

 

ඔබ විසින් දෙවියන්ට ඔප්පු කළේ පලතුරු, කැවිලි පූජා වට්ටියක් නම් එයින් වැඩිපුර ප්‍රමාණයක් දේවස්ථානයට පැමිණ සිටින මිනිසුන්ට දෙන්න. ඉතිරි වන යමක් වේ නම් ඔබ සහ පවුලේ අයට අනුභව කරන්නට පුළුවන්. නැතුව තමා විසින් ඔප්පු කළ පූජාවේ පලතුරු කැවිලි තණ්හාවට තමන්ම හෝ තමන්ගේ පවුලේ අයට පමණක් පරිභෝජනයට ගැනීම කෙසේවත් සුදුසු දෙයක් නම් නොවේ.

 

 නිවෙසේදී වූ භාරයක් නිදහස් කිරීම

 

මේ සඳහා ඔබ විසින් නිවසේ ගෙවත්තේ කිරි ගසක ගැටගසන ලද බාරය (පඬුර) ගලවා ඉවත් කර එම පඬුරේ ගැටගසන ලද කාසිය තමා ළඟ තබා ගත යුතුය. පසුව ඉහත කී ආකාරයෙන්ම ඔබ විසින් දෙවියන්ට පොරොන්දු වූ ආකාරයෙන් සියලුම පූජා ද්‍රව්‍යයන් කිසිදු අඩුවක් නැතුව සූදානම් කරගෙන එම පූජා ද්‍රව්‍යයන් රැගෙන දේවස්ථානයකට ගොස් පෙර කී පිළිවෙත් ආකාරයෙන්ම පූජාව ඔප්පු කළ යුතුය. ඒ වගේම ඔබ ව්සින් ගැට ගලවන ලද පඬුරේ කාසිය දේවස්ථානයේ පින් කැටයකට දැමිය යුතුය. (දේවස්ථානයක පඬුරු ගැට ගැසූ අයට එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත. මන්ද පූජකයන් විසින් එම පඳුරු කලින් කලට ගලවා ඉවත් කරනා බැවින්)

මේ ක්‍රම දෙකම ඔබ සැමටද, දේව කටයුතුවලට ආධුනිකයකු වන අයකුට ද ඉතාම පහසුවෙන් දෙවියන්ට ධාරයක් ගැට ගසා ගත හැකි ආකාරයෙන් දක්වා ඇත.

 

ඔබ සැමට ශ්‍රී මහා දුර්ගා මාතාවගේ පිහිටයි!

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk