Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගොවීන්, කම්කරුවන් සහ වැඩ කරන ජනතාව අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයට සෙනසුරු සියල්ල මෙහෙයවයි

1 year ago 7 Min read
Subha.lk

මෙම කාලසීමාව තුළ ලෝක ප්‍රජාව ඉතාමත් අසරණ භාවයට පත් කරමින් විශ්වය තුළ සිදුවන ග්‍රහ චලිතයන් මිනිස් ජීවිත කෙරේ කෙසේ බලපවත්වයිද යන්න ජ්‍යෙතිෂ්‍ය විද්‍යාත්මකව විමර්ශනය කිරීම මෙම ලිපියට ප්‍රස්තුත කරුණයි. 

ඉකුත් ඔක්තෝබර් 10 වැනි දින බුධ ග්‍රහයාත්, කුජ ග්‍රහයාත් අතර ඇති වූ යුද්ධයෙන් කුජ පරාජයට පත්විය. එම ග්‍රහ යුද්ධයෙන් බුධ ජයග්‍රහණය ලැබූ අතර එම අවස්ථාවේ බුධ සහ කුජ ලෝකායන කේන්දරයෙහි හයවැන්නේ සිටී. බුධ සහ කුජ සඳුගේ නැකැතක ගමන් කළ අතර සඳු සිටියේ කේතු සහ යෝග වී අටවැනි භාවයේය. ලෝකායන කේන්දරයට අනුව බුධ ග්‍රහයා සහ කුජ ග්‍රහයා යුද වැදුණු හයවැනි භාවය කේතු ග්‍රහයා විසින් දකින්නේ තුන්වැනි දෘෂ්ටියෙනි. සෙනසුරුගේ නැකැතක ගමන් කරන කේතුගෙන් රවි පීඩාවට පත්වේ. රාජ්‍ය කාරක රවි ග්‍රහයා මෙසේ පීඩාවට පත්වීමෙන් රාජ්‍ය පාලකයන්ටත් රාජ්‍ය අංශවල කටයුතු කරන උසස් නිලධාරීන්ටත් අශුභ පල උදාකරයි. 

ඔක්තෝබර් 11 වැනි දින වක්‍රයෙන් මිදෙන සෙනසුරු ග්‍රහයා සිය නෛසර්ගික ගුණය ප්‍රදර්ශනය කරමින් සාමාන්‍ය ජනතාව නියෝජනය කරයි. කම්කරුවන්, ගොවියන් මෙන්ම වැඩ කරන ජනතාව ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා මෙහෙයවීමට සෙනසුරුගේ බලපෑම හේතුවේ. ලෝකායන කේන්දරයෙහි දහවැන්නේ ගමන් කරන සෙනසුරු නිසා මකර රාශියට අයත් රටවල්වල රාජකීයන්ට අහිතකර ප්‍රතිඵල උදාකරයි. මකර රාශියට අයත් රටවල් වූ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ මෙක්සිකෝව වැනි රටවල්වල සාමාන්‍ය ජනතාව දැඩිලෙස පීඩාවට පත්වීමත් ආර්ථික වශයෙන් දුර්වල වීමටත් හේතුවේ. 

ලෝකායන කේන්දරයෙහි සතුරු ස්ථානය නියෝජනය කරන බුධ ග්‍රහයා සතු නෛසර්ගික ගුණය තුළ සතුරන්ට උපකාර කිරීමට පෙලඹීමත් ලග්න ගත යුරේනස් ග්‍රහයා කුජ සහ බුධගේ අටවැනි දෘෂ්ටියෙන් පීඩා වීමත් නිසා එම රටවල පාලකයන් කෙරෙහි පවතින මහජන අප්‍රසාදය බලවත් වේ. ලෝකායන ජ්‍යෙතිෂයෙහි දහවැනි භාවයේ නිවෘත වූ සෙනසුරු මේෂ ලග්නය හිමි රටවල් වන එංගලන්තය, ජර්මනිය, ජපානය වැනි රටවල පාලකයන්ට සහ ආණ්ඩුවල වගකිවයුත්තන්ට විපත්තිදායක තත්ත්වයක් උදාකරයි.

1948 පෙබරවාරි 4 වැනිදායින් පසු කුම්භ ලග්නයෙන් නියෝජනය වන ශ්‍රී ලංකාව කෙරෙහි කුජ ග්‍රහයා සහ බුධ ග්‍රහයා අතර ඇතිවූ ග්‍රහ යුද්ධයත් සෙනසුරු ග්‍රහයා වක්‍රයෙන් මිදීමත් කෙසේ බලපවත්වයිද යන්නද විග්‍රහ කළයුතු කරුණකි. මෙම විමසීමේදී කුම්භ ලග්නයේ යෝගකාරක සිකුරු ග්‍රහයා දහවැනි භාවයේ සෙනසුරුගේ නැකැතක ගමන් කරමින් කේතු සහ යෝග වී සිටී. කේතුගේ තුන්වැනි දෘෂ්ටිය ලබමින් ලංකා කේන්දරයේ අටවැනි භාවයේ රවි, කුජ සහ බුධ යෝග වී සිටී. මෙවැනි ග්‍රහ පිහිටීමක් තුළ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නියැළී සිටින්නන්ට, ආණ්ඩුවේ උසස් නිලධාරීන්ට, රාජ්‍ය පාලකයන්ට, ප්‍රභූ කාන්තාවන්ට, පුවත්පත් කලාකරුවන්ට සහ සන්නිවේදකයන්ට අයහපත් කාලසීමාවක් බව පෙනීයයි. විවිධ තර්ජනවලට මුහුණ පෑමට සිදුවේ. 

 

 

හදිසි අනතුරු වැඩිවීම, කර්මාන්තශාලාවල ඇතිවන ගිනි ගැනීම් නිසා ජීවිත හානි ඇතිවීමටත් මෙම ග්‍රහ පිහිටීම් බල පවත්වයි. ළමයින්ට, තරුණ ප්‍රජාවට සහ කාන්තාවන්ට වසංගත රෝගවල බලපෑම මත විපත්තිදායක තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. 

ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ලග්න ජන්ම ඒරාෂ්ටක සහිතව ගමන් කරනුයේ දොළොස්වැනි භාවයේය. මහජනතාව සහ රෝහල් සේවය නියෝජනය කරන දොළොස්වැනි භාවය තුළ ගුරු ග්‍රහයා සිටින්නේ නීච බලයෙනි. මේ අතර රාහුගේ පස්වැනි දෘෂ්ටියද දොළොස්වැන්නට හිමිවේ. එහි බලපෑම තුළ රෝහල් සේවයේ නිරත වී සිටින්නන් නොසන්සුන් බවට පත්වීමෙන් ඇති කරන අරගලකාරී තත්ත්වයන් තුළ මහජන ආයතනවල සේවයේ නිරත වී සිටින සේවක සේවිකාවන් ආණ්ඩු විරෝධී කටයුතුවලට පෙලඹීමේ ස්වභාවයක් නිර්මාණය වේ. 

ඉහත ග්‍රහ පිහිටීම් පවතිද්දී යුරේනස් ග්‍රහයා ලංකා කේන්දරයේ තුන්වැනි භාවයේ ගමන් කිරීම මත සන්නිවේදන ක්‍ෂේත්‍රය කෙරෙහි මහජන අප්‍රසාදය උත්සන්න වීමට පටන්ගනී. ලග්නයේ ගමන් කරන නෙප්චුන් ග්‍රහයා නියෝජනය කරන්නා වූ කුමන්ත්‍රණ, විප්ලව, සුළු දේශපාලන පක්ෂ ක්‍රියාකාරකම් සියල්ලකින්ම මහජනතාව දැඩි පීඩාවකට පත්වීමට හේතුවේ. මූල්‍ය ආයතන සහ බැංකු කෙරෙහි ඇති වන සතුරු බලපෑම් මත මංකොල්ලකෑම්, වංචා සිදුවීමටත් පාතාල නායකයන් බලවත් වීමෙන් දූෂණ ක්‍රියා මෙන්ම වංචා වර්ධනය වීමටත්, ඇතිවීමටත් මෙම ග්‍රහ පිහිටීම් හේතු වන බව නිරීක්ෂණය කළ හැකිය.

සිවුවැනි භාවයේ බලවත් වූ රාහු ග්‍රහයා පස්වැනි දෘෂ්ටියෙන් ලංකා කේන්දරයේ දොළොස්වැන්නත් නවවැනි දෘෂ්ටියෙන් අටවැනි භාවයත් දකී. දොළොස්වැනි දෘෂ්ටියෙන් දකින්නේ පස්වැනි භාවයයි. වේගකාරී ලෙස හැසිරෙන පාපී ග්‍රහයකු වූ රාහුගෙන් මෙවර පීඩාවට පත්වන්නේ ප්‍රසිද්ධ චරිත සහ ගොවි ජනතාවයි. කෘෂිකර්මාන්තයට හානි ඇති කරමින් ස්වාභාවික විපත්  ඇති වේ. කීර්තිමත් වූත් ප්‍රබල වූත් ප්‍රසිද්ධ ප්‍රභූ පුද්ගලයන්ට මාරක අපල තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. ලංකා කේන්දරයෙහි දැනට පවතින මෙම ග්‍රහචාරයේ බලපෑම මෙම වසර අවසානය දක්වාම පවතී. 

රාහු ග්‍රහයාගේ බලපෑම 2022 අප්‍රෙල්  මාසය දක්වා බල පවත්වන අතර අප්‍රේල් මාසයෙන් පසු විරුද්ධ මත දරන දේශපාලන පක්ෂ බලවත් වීමට පටන් ගනී. පීඩිත පන්තිය නියෝජනය කරන සෙනසුරු ආධ්‍යාත්මික ග්‍රහයෙකි. එබැවින් සොබා දහමට අනුකූලව සිය බලය මෙහෙයවීමට පෙලඹේ. අධර්මිෂ්ට, වංචනික, පාපී පුද්ගලයන් කෙරෙහි ස්වභාවධර්මය දඬුවම් කිරීමට පෙලඹෙන බව මෙම ග්‍රහ පිහිටීම් තුළින් මනාව පිළිබිඹුවේ. 

රාජ්‍ය පාලකයන්, ආයතන ප්‍රධනීන් සහ පරිපාලන ක්‍ෂේත්‍රයන්හි නිරත වූවන් විවේචන ඉවසා සිටීමටත් මහජනතාවටත් ස්වාභාවික සම්පත්වලටත් හානිදායක නොවන අයුරින් කටයුතු කිරීමට යොමුවීමෙන් පීඩාකාරී තත්ත්වයන් අවම කර ගැනීමට හැකිවේ. මූලධර්මවාදී ආගමික මතධාරීන්ටත්, පොදු නීතියට පටහැනිව කටයුතු කරන්නන්ටත් සොබාදහමේ නීතිය ක්‍රියාත්මක වීමෙන් අනපේක්ෂිත විපත්වලට මුහුණ දීමට සිදුවන කාලසීමාවක් උදාවේ. 

බලයෙන් උද්දාම නොවී සන්සුන් සිතින් කාරුණිකව කටයුතු කිරීමටත් පංචකාමයට වහල් වී බල තණ්හාවෙන්  මහජනතාව පීඩාවට පත් නොකර කටයුතු කිරීමට පාලක පාර්ශ්වය සමත් නොවීමෙන් මහීකාන්තාව කම්පනයට පත්වීමටත් පාතාල දෙවියන් නියෝජනය කරන ප්ලූටෝ සහ යමයා නියෝජනය කරන සෙනසුරු යෝග වී සිටින අවස්ථාවක එම බලය ක්‍රියාවට පත්වීමෙන් ස්වභාවධර්මය පාදක කරගත් විපත්තිදායක සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ. කලියුගයේ ජීවත්වෙන මිනිසා විනාශ කිරීමට මිනිසා විසින් ක්‍රියාත්මක කරන කටයුතු මනුෂ්‍යත්වයේ නාමයෙන්  අත්හැර දමා පරාර්ථකාමීව, අවංකව, සාධාරණව කටයුතු කිරීම තමා තුළ සැඟ වී සිටින උදාර මනුෂ්‍යත්වයේ ගුණාංග මෙන්ම දෙවියන් අවදි කර ගැනීමට හේතු වන බව අවධාරණය කළ හැකිය.

(මව්බිම -17/10/2021)  කල්‍යාණි හේරත් මැණිකේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk